Thursday, June 22, 2017

සන්නිවේදන තාක්ෂණික දියුණුව නිසා හටගත් සමාජ අර්බුද කළමනාකරණය


 වර්තමානයේ තාක්ෂණයත් සන්නිවේදනත් මිනිසාට අත්‍යවශ්‍ය සධකයකි. නමුත් එයින් ඇති වී ඇති ප‍්‍රතිඵල පිළිබඳ විවිධ විවේචන පවති. මේ ඒ පිළිබදව සිදු කළ සාකාච්ජානක දී අදහස් දැක් වූ නාට්‍ය හා රංග කලා හා ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ ආචාර්ය උදිත ගයාෂාන්ගේ අදහසයි.

සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ඔබේ අදහස කොයි වගේද?

තාක්ෂණයේ දියුණුව කියන්නේ පර්යේෂණයන්ගේ සාර්ථකත්වයයි. තාක්ෂණය මගින් සිදුවන කාරණා 02 ක් ප‍්‍රධාන වශයෙන් හඳුනා ගන්නට පුළුවන්.

01. භූගෝලීය සීමාවන් ජය ගැනීම. ( අවකාශය )
02. අතීත අනාගත සබඳතා පවත්වා ගැනීම. ( කාලය )

සන්නිවේදන තාක්ෂණය විද්‍යාත්මක ක‍්‍රමවේදයත් එක්ක වැඩි දියුණු වූ දෙයක්. මිනිස් ජන ජීවිතයේ විවිධ අංශවලට කළමනාකරණ ක‍්‍රම සහ අලූත් වැඩ පිළිවෙළ රටාවන් ආදේශ කරමින් නැති මානව සබඳතා ගොඩනැගීමත් එහි ස්වභාවයේ වෙනසක් මේ මගින් ඇති කර ඇති බවත් පෙනී යන කාරණවක්. කෙසේ නමුත් සන්නිවේදන තාක්ෂණයේ වටිනාකම වැඩි වන්නේ එහි සුභාවිතයක් තිබුණොත් පමණයි. නමුත් ඉතිහාසයේ සිටම ඔය කාරණා දෙක සමාන්තරව ගමන් කළ බවක් පෙනෙන්නෙ නෑ. තාක්ෂණය වාණිජ පරමාර්ථ පෙරදැරිව එක් පාරකත් යහපත් සමාජ භාවිතාව යන කාරණාව තවත් පාරකත් ගමන් කරන බවත් දකින්න පුළුවන්.

මේ යහපත් සමාජ භාවිතය කෙසේ ක‍්‍රියාත්මක කරවිය යුතුද යන්න පිළිබඳ ඔබේ අදහස ?

ඇත්තෙන්ම බැලූ බැල්මට පිට සිට කෙනෙකුට මේ සඳහා නීත්‍යනුකූලව ජනමාධ්‍ය අමාත්‍යංශයට ඇඟිල්ල දිගු කරන්නට පුළුවන්. නමුත් ලංකාව වගේ රටකට තිබෙන්නේ එම ඉලක්කය බොහෝ පිටුපසයි. ඊට පෙර ඔවුන්ට දේශපාලන, ආර්ථික, පෞද්ගලික සම්බන්ධතා වැනි ආදර්ශ ඉලක්ක පසුකරගෙන තමයි සාධනීය තත්වයට ඇවිත් තියෙන්නේ. තාක්ෂණය දියුණුයි කියල කෑ ගහල හරි යන්නෙ නෑ. ඒ තාක්ෂණය ඇතුළේ තියෙන්නෙ මොනවාද කියලා සලකා බලන්න අවශ්‍යයි. ව්‍යවහාරික අරමුණින් බැහැරව මානව ඵලදායි ක‍්‍රියාවලියක් ලෙස මෙම සන්නිවේදන තාක්ෂණය දියුණු කළ යුතුයි. ඒ මගින් සමාජ අර්බුද  කළමනාකරණය කළ හැකි බවයි මගේ  අදහස.
   
  ඉස්සර තිබුණේ ඒකල මාධ්‍ය භාවිතයක්. නමුත් අද වන විට තාක්ෂණයේ දියණුවත් සමඟ මාධ්‍යකරුවාගේ මාධ්‍ය තාක්ෂණයේ සීමාව වෙනස් වෙලා. නමුත් ඒකල මාධ්‍ය තිබුණ කාලයේ මාධ්‍යකරුවාට තමා නියෝජනය කරන මාධ්‍යයේ ප‍්‍රවීණත්වයක් තිබුණා. වර්තමානයේ තාක්ෂණික සීමාවන් පුළුල්වෙත්ම මිනිස් අවශ්‍යතාවන්හි සීමාවන්ද පුළුල් වෙලා. ඒ නිසා මාධ්‍ය එකින් එක ගලවලා කතා කරන්න බෑ. සමස්ත සන්නිවේදන තාක්ෂණය ගැනම කතා කළ යුතු වෙනවා.

ජනමාධ්‍ය ගැන කතා කරන විට ප‍්‍රංශ කලාවේදී ”රුසියාටෝ කැනුඩෝ” ප‍්‍රකාශ කොට තිබෙන ආකාරයට සිනමාව ලෝකයේ 7 වැනි කලාව ලෙස හඳුන්වා දී තිබෙනවා. එහි විශේෂත්වය ලෙස හඳුන්වන්නේ අනෙකුත් කලාවන් 06 ම අන්තර්ගත වී තිබීමයි. අනෙකුත් කලාවන් 06 මොනවාද? ඒ තමයි 1 අංග චලනය, 2 අභිනය, 3 හඬ, 4 ස්ථාපනය නො එසේ නම් එකලස් කිරීම, 5 චිත‍්‍රගත කිරීම, 6 ඡුායාරූපයයි. නමුත් අපිට දකින්නට පුළුවන් තවත් සුවිශේෂීත්වයක් වන්නේ රූපවාහිනියේ පැමිණීමත් සමඟ සිනමාව ද එයට ඇතුළු වීමයි. එහෙම නම් ලෝකයේ 08 වැනි කලාව රූපවාහිනිය නම් 09 වැනි කලාව බවට පත් වන්නේ මාධ්‍යයක්  නොව තාක්ෂණයක් වන ඩිජිටල් තාක්ෂණයයිි.  ඒ තුළ මේ සියල්ල දැකගත හැකියි. මේ හේතුව නිසා වර්තමානයේ බොහෝ විට මිනිසුන් මාධ්‍යවලට වඩා තාක්ෂණයට නැඹුරුතාවයක් දක්වනවා. මේ කාරණාව අපි හොඳින් වටහා ගත යුතු වෙනවා.
           
ඒ නිසා මගේ අදහස වන්නේ පරණ ඒකල මාධ්‍ය කළමනාකරණ ව්‍යපෘතියක් හැටියට හිතලා ඒකල මාධ්‍ය සංවර්ධන ඉලක්කයක් තෝරාගෙන අවුරුදු ගාණකදි අපි මේ පුවත්පත් කලාව හෝ ගුවන්විදුලිය හෝ රූපවාහිනිය හෝ වේවා සංවර්ධනය කළ යුතුයි කියල බැහැ. අද වනවිට මාධ්‍ය එකිනෙකට මිශ‍්‍රවෙලා. දෙමුහුන්, තුන්මුහුන්, හතරමුහුන් වෙලා කියන එකයි මගෙ මතය. මේ නිසා අපි මාධ්‍ය ගැන කතා කල යුතු වන්නේ තාක්ෂණයත් මුල් කරගෙන. අතීතයේ මාධ්‍ය එළියට ගෙන ඒමට තාක්ෂණය කොයිතරම් පොහොසත් ද යන වග කල්පනා කළා. ඒ ගමන හරිම සරලයි. දැන් ඊට වඩා වෙනස් හැඩයක් ගෙන තිබෙනවා. සමහර වෙලාවට අපි නාට්‍යයේ බලපෑම ගැන කතා කරනකොට එයට සිනමාවේ බලපෑම තියනවා. සිනමාව ගැන කතා කරන කොට පුවත්පතේ හෝ ගුවන්විදුලියේ බලපෑම තියනවා. මේ නිසා මාධ්‍යයකට තවත් මාධ්‍යක් නැතුව පවතින්න බැරි ස්වභාවයක් නිර්මාණය වෙලා තියනවා.

මාධ්‍යයට මේ තාක්ෂණය කොයි ආකාරයේ බලපෑමක් ද එල්ල කරලා තියෙන්නේ?

සරලව පැහැදිලි වන කාරණය මේකයි. අද වන විට තාක්ෂණය විසින් අනෙකුත් මාධ්‍ය තුල තිබෙන ව්‍යවහාරික වටිනාකම අත්පත් කරගෙන තිබෙනවා. තාක්ෂණය තිබූ පමණින් එය පරිහරණය කිරීම සාධාරණ නැහැ. එහි තිබෙන සුභාවිතය පමණක් උකහා ගත යුතුයි. වර්තමානයේ දැක ගත හැකි සුලබ කාරණාවක් වන්නේ මාධ්‍ය විසින් තරුණ පරම්පරාවට සිදු කරනු ලබන බලපෑමයි. මේ තාක්ෂණයෙන් මාධ්‍ය සීමාවන් බිඳ දමා යාමට අවශ්‍ය අතුරු අවස්ථා  ඕනෑ තරම් නිර්මාණය කර තිබෙනවා. එහිදී වාසි අවාසි තිබුණත් වැදගත් කාරණය වන්නේ නිසි කළමනාකරණය කිරීමෙන් වාසියත් නිසි කළමනාකරණය නොකිරීමෙන් අවාසිත් අත්පත් වන බව අවබෝධ කර ගැනීමයි. තාක්ෂණයෙන් තොරතුරු දැන ගැනීම හොඳ දෙයක් තමයි. නමුත් මානව සබඳතා වෙනුවට අදහස් හුවමාරු කර ගැනීමේ ගනුදෙනුමය කාර්යට පමණක් කොටු වීම ගැටළුවක්. මනුෂ්‍යත්වය ඊට වඩා වෙනස් දෙයක්. එය තාක්ෂණයට අසුවෙන්නෙ නෑ. ඒ නිසා අපි හිතන්න  ඕනෙ තව අවුරුදු 10 කින් ලෝකයේ සන්නිවේදන තාක්ෂණය කොතැනද තියෙන්නේ කියන කාරණාවට වඩා ඒ නිසා මිනිසුන්ගේ අද තිබෙන සබඳතා මීට වඩා යහපත් වෙයි ද? අයහපත් වෙයි ද? යන කාරණාවයි.


අපිට තාක්ෂණයට සීමා පනවන්න බෑ නේද?

ඔව්. නමුත් අපිට සමාජ පාලනය සහ පෙළඹවීම කියන කාරණාවන් සිදු කල හැකියි. ඇත්තෙන්ම බොහෝ විට මිනිසුන් ආකර්ෂණයට කැමතියි. සමාජ විඥ්ඥානය අපේක්ෂා කරන දේ ගෙදරින් ලැබෙන්නේ නැතිනම් මානව සබඳතා ගිලිහී යාමට බොහෝ සේ ඉඩකඩ වැඩියි. නමුත් අවධාරණය කරගත යුතු කාරණය වන්නේ මානව සබඳතා ගිලිහුණු සමාජයක අපේක්ෂිත සන්නිවේදන ඵලදායීතාව ගොඩනගා ගන්නට නොහැකියි. මිනිසා යනු සංස්කෘතික සත්වයෙක්. ඒ අනුව සංස්කෘතික ක‍්‍රියාවලියක් බිඳ දැමීම ත‍්‍රස්ත ක‍්‍රියාවක් ලෙෂ සලකන්න පුළුවන්. අද බොහෝ විට ත‍්‍රස්ත ක‍්‍රියාවන් සිදු කරන්නේ නියාමනයකින් තොරව සන්නිවේදනය ගලා යාමට ඉඩ හරින පිරිස විදිහටයි මම දකින්නේ. තිබෙන සංස්කෘතිය ගලවලා නව සංස්කෘතියක් ඔළුවලට දානවා. සරල උදාහරණයක් විදිහට ළමා කාටුන් තුළත් බොහෝ විට ළමයා තුළ තමාගේ පෞද්ගලිකත්වය පිළිබඳ හීනමානයක් ගොඩ නගනවා. එහිදී ළමයාගේ පෙර තිබූ සංස්කෘතිය වෙනුවට නව සංස්කෘතියක් ඔළුවට දානවා.
       
සමාජයේ මිනිසුන් පුරුෂාර්ථවලින් බැහැර කිරීම නූතන සන්නිවේදන තාක්ෂණය විසින් සිදුකරන බරපතල වැරැුද්දක් විදියට මම දකිනවා.  මිනිසා විසින් මිනිසා මත ඇති කරනු ලබන බලපෑම්වලින් ගලවා දමා තාක්ෂණය විසින් මිනිසා මත ඇති කරන බලපෑම අද ඉදිරියට පැමින තිබෙනවා. ඒ බලපෑම සමාජ පුරුෂාර්ථසමග කිසිවිටක බැදෙන්නේ නැත. එය වාණිජ වුවමනාවකි. එසේ නැත්නම් දේශපාලන,ආර්ථික කිසියම් වුවමනාවකි.

නමුත් එයින් ලැබූ කිසිම ප‍්‍රගතිශීලී දෙයක් නැහැ කියල මං කියන්නෙ නෑ. අපි සන්නිවේදන තාක්ෂණයේ හරවත් භාවිතයක් ඇති කල යුතුයි. එය ආකල්පමය වෙනසක් විය යුතුයි යන්න මගේ මතයයි. මෙයට ලෝකයේ උදාහරණ තියනවා. ඉන්දියාව,රුසියාව,ජපානය වැනි රටවල් තුළ ළමා වැඩසටහන්, කාටුන් ඔවුන්ගේ දරුවන්ගේ ආකල්පමය දියුණුව සදහා පාවිච්චි කරනවා. නමුත් ලංකාව ලෝකයෙන් යැපෙන හිගන රටක් වෙලා. විවෘත ආර්ථිකයෙන් පස්සේ රට තුළට නිසි ඉලක්කයකින් තොරවම හැමදේම ගලාගෙන ඒමට ඉඩ සැලැස්සුවා මිස එහි ගුණාත්මකභාවය පිළිබද සැලකිල්ලක් දැක්වූයේ නෑ. ලංකාවට රූපවාහිනිය පැමිණෙනවා නමුත් ඒක ඇතුළේ මොනවද තියෙන්නෙ කියන දේ සොයා බැලූවෙ නෑ. මම කියන්නෙ මිනිසුන්ගෙ කාර්ය සාධන වැඩවලදී තාක්ෂණය ගැටළුවක් නොවේ. නමුත් මෙය ජන සන්නිවේදකයන් සමග කතා කරන විට සන්නිවේදන තාක්ෂණය දියුණු වෙන තරමටම එය යහපත් ද අයහපත් ද යන්න සාකච්ඡුාවට බඳුන් විය යුතුයි.

 මේ පිළිබඳ ඔබේ විවේචනය එල්ල වන්නේ කාටද?

තාක්ෂණයේ දියුණුව කියන්නේ ලෝකයේ හැමදේටම බලපාපු කාරණාවක්. ඒ බලපෑම්වලට වඩා සන්නිවේදනයෙන් ඇති වූ ආදීනව ඉතාමත් බරපතලයි. ඒ නිසා ඒ ආදීනව අපි අපේ රට හැටියට කල්පනා කරල බැලූවොත් අපි ගිහින් තියෙන්නේ හිටියට වඩා හොඳ තැනකට ද? නරක තැනකටද? මෙය භෞතිකව හා ද්‍රව්‍යාත්මකව කතා කරනවා නම් හැම කෙනාටම සෙල්ෆෝන් දෙක දෙක තියනවා. ගෙදරට, මගට, කාර්යාලයට කියල ඉලක්කම්වලින් සහ යකඩ ගොඩවල්වලින් පුරසාරම් කියවල වැඩක් නෑ. ලංකාවේ ජනගහනය කෝටි 02 යි නම් සෙල්ෆෝන් කෝටි 04 යි. තව අවුරුදු 05 කින් කොච්චර ලොකු කුණු ගොඩක් වෙයි ද? කියන ගැටළුව මතුවිය යුතුයි. මෙයට හේතුව නියාමනයකින් තොරව  ඕන කුණු ගොඩක් ගෙන ඒමට ඉඩ හැර සිටීමයි.

  ඒ වගේම ජනමාධ්‍ය  ඉගැන්වීම සම්බන්ධයෙන් මගේ ප‍්‍රශ්නයක් තියනවා. ජනමාධ්‍ය ඉගැන්වීම කළ යුතුයි. ඊට වඩා ඔවුන්ට කළයුතු විශාල මෙහෙයක්, සටනක් තිබෙනවා. ඒ තමයි ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට නුසුදුස්සන් ඇතුළුවීම බැහැර කළ යුතුයි. විශේෂයෙන් සුදුස්සා පසකට දමා පාප්ප බාල්දිය අතට ගන්නන්ට අවස්ථාව සලසා නොදීමට වග බලා ගත යුතුයි. නමුත් ජනමාධ්‍ය ආයතන හිමිකරුවෙකු විසින් තම ආයතනයට තමාට අවශ්‍ය කෙනා තෝරා ගැනීමට අයිතියක් තිබෙන බව කියන්නට පුළුවනි. එසේ නම් ඔවුන්ට අවශ්‍ය විදියට එය පාලනය කළ හැකි වුවද  එය මහජන ප‍්‍රකාශයට ගෙන ඒමට ඉඩ නොදිය යුතුය. මන්ද ජනමාධ්‍ය විසින් සිදුකරනු ලබන ප‍්‍රකාශය සමාජ වැඩ පිළිවෙළක් විය යුතුයි. සමාජය පිළිගත් යම් සාරධර්ම පද්ධතියකට යටත් විය යුතුයි. මාධ්‍ය ආයතනයක කළමනාකරණ අධ්‍යක්ෂක ධූරයට ආයතනයේ හිමිකරුගේ දුව පත් කරන්න බෑ ඇය ඔහුගේ දුව වූ පමණින්. එයට සුදුසුකම් සපුරා තිබිය යුතුයි යන්න මගේ අදහසයි. ඒ වාගේම විනිවිදභාවයකින් යුතුව එම කටයුත සිදුවිය යුතුයි. එය පවුල්වාදයෙන් නොව සුදුස්සාට සුදුසු තැන දීමෙන් සිදුවිය යුතුයි. යුද්ධයට හේතුව වාර්ගික අර්බුදයම නොවේ. සාධාරන වරප‍්‍රසාද අහිමි වීමයි. ඒ වගේම ජනමාධයවේදියා වහල්කමට පුහුණු නොකොට ස්වාධීනව කටයුතු කිරීමට නිසි අධ්‍යාපනය හා පුහුණුව ලබා දිය යුතුයි. මොකද ජනමාධ්‍ය තුළින් එළියට යන සෑම සන්දේශයක්ම මාධ්‍යකරුවන් විසින් මෙහෙයවන නිසා ඔවුන් මෙම සන්නිවේදන තාක්ෂණය පිළිබඳව සහ එහි ක‍්‍රියාකාරීත්වය පිලිබඳ අවධානය යොමු කළ යුතුයි.

  මේ සදහා කළයුත්තේ කුමක්ද?
               
ඇත්තෙන්ම මේ සඳහා විසදුම් හැටියට සාධක හතරක් හදුන්වා දෙන්න පුළුවන්,
         1.අවබෝධය
         2.වාරණයෙන් තොර නියාමනය
         3.සදාචාරය
         4.නීතිය
සන්නිවේදනය, ජනමාධ්‍ය, සන්නිවේදන තාක්ෂණය ආදී ක්ෂේත‍්‍රයන් මෙන්ම ලාංකීය සමාජය සහ අපගේ ජන විඥානය පිළිබඳව සෑම දෙනාටම අවබෝධය තිබීම වැදගත් වෙනවා. එමෙන්ම මේවාහි ඇති ව්‍යාජත්වය පිළිබඳව සමාජයට පුළුල් දැනුම සහිත අවබෝධය තිබිය යුතුයි. එම නිසා සමාජ අවබෝධය ඇති කළ යුතුයි. එය මාධ්‍ය සතු වගකීමකි. තවත් සාධකයක් ලෙස මාධ්‍ය දියුණුුව පිළිබඳව නියාමනයකින් තොරව කතා කිරීම අනුවණ ක‍්‍රියාවක්. සන්නිවේදන තාක්ෂණය දියුණු වෙන එක හොඳයි. නමුත් ප‍්‍රශ්නය වෙන්නේ තාක්ෂණය යන වේගයටම එයට සමාන්තරව ව්‍යවහාරික භාවිතයට ගැනීමට හැකියාව පවතිනවා ද යන්න සොයා බැලීමයි. එයට අවශ්‍ය වන  නිසි වැඩ පිළිවෙළ මෙම සාධක හතර හරහා සිදු කළ හැකියි. විශේෂයෙන් ජනමාධ්‍ය ප‍්‍රතිපත්ති සකස් කළ යුතුයි. එම ප‍්‍රතිපත්ති ඇතුළේ මිනිසුන්ගේ ජන විඥානය, මහජන මට්ටම ඔසවා තැබීම සදහා ඉලක්කයක් තිබිය යුතුයි. නැතුව මාධ්‍යවේදීන්ගේ සුබසිද්ධියම පමණක් තිබීම ප‍්‍රමාණවත් නෑ. ඊට අමතරව රටේ සුබසිද්ධිය අපේක්ෂා කළ යුතුයි.
   
   එහිදී ජනමාධ්‍ය අමාත්‍යංශයට වගකීමක් තියනවා. මේ පිළිබඳ සාකච්ඡුාවක් ආරම්භ විය යුතුයි යන්න මගේ අදහසයි. ඒ සදහා විද්වතුන්ගේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා. ¥ෂිත බවින් තොර නියාමනයක් ක‍්‍රියාත්මක විය යුතුයි. සදාචාරය සම්බන්ධව කටයුතු කිරීමේ දී එයට ජනමාධ්‍ය නායකයින් ප‍්‍රමුඛත්වයක් ගත යුතුයි. විශේෂයෙන් පොලීසිය, භික්ෂූන්වහන්සේලා, පූජකවරු, ගුරුවරුන් වැනි ජනමත නායකයින්ට මේ සඳහා කළ හැකි කැප කිරීම් බොහෝයි. මේ සියල්ලම ක‍්‍රියාත්මක කිරීමෙන් අනතුරුව හීනය ද ක‍්‍රියාවට නැංවිය යුතුයි. විශේෂයෙන් ජනමාධ්‍ය කියන්නේ ව්‍යාජය වපුරන නිර්ව්‍යාජත්වයට හිස ඔසවන්නට දෙන්නේ නැති ආයතනයක් වෙලා අද. නමුත් මෙයට සන්නිවේදන ක්ෂේත‍්‍රයට අදාළ සියලූ දෙනා වගකිව යුතුයි යන්න මගේ අදහසයි.
                                              සංවාද සටහන  :- ප‍්‍රබුද්ධිකා රත්නායක

Friday, June 16, 2017

ඉන්දියාවේ යකඩ ගැහැණිය ඉන්දිරා ගාන්ධි.....


 ඉන්දියාවේ යකඩ ගැහැණිය නමින් විරුදාවලිය ලත් ඇය, නමින් ඉන්දිරා ප‍්‍රියදර්ශනි ගාන්ධි විය. එතුමිය දේශපාලන වශයෙන් පන්නරය ලත් ගාන්ධි පවුලේ සාමාජිකාවක් වෙනවා. ඇගේ පියා නිදහස් ඉන්දියාවේ ප‍්‍රථම අගමැති වූ අතර, ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ ප‍්‍රථම කාන්තා අගමැගමැතිනිය මෙන්ම ලෝකයේ දෙවනි කාන්තා අගමැතිණිය ලෙස හදුන්වා දෙන්න පුළුවන්. 2011 වර්ෂය වන විටත් ලෝකයේ දිගු කාලයක් අගමැති ධූරය දරන ලැයිස්තුවේ ඇය ප‍්‍රමුඛ ස්ථානයේ පසුවෙනවා. දේශපාලනය වෙනුවෙන් සිය ජිවිතය කැපකළ ඇය උත්තුංග කාන්තාවන්ට පූර්වාදර්ශයක් සැපයූ උත්තමාවියකි. 

වර්ෂ 1917 නොවැම්බර් මස 19 දින උපත ලද ඉන්දිරා ප‍්‍රියදර්ශනි ගාන්ධි නම් වූ ඇය ජවහල්ලාර් නේරුගේ දියණියක වනවා. කමලා නේරු එතුමියගේ මව වූ අතර, ඇගේ පියා වූ ජවහල්ලාර් නේරු, ඉන්දියානු සටනේ ප‍්‍රධානත්වය ගෙන කටයුතු කළ අයෙක් වෙනවා. එමෙන්ම ඔහු නිදහස් ඉන්දියාවේ ප‍්‍රථම අග‍්‍රාමත්‍ය වරයාද වෙනවා. ඇගේ සීයා මෝත්ලාල් නේරු ඉන්දියාවේ විශිෂ්ඨට නායෙකයෙක්. දේශපාලන පසුබිමක් සහිත නේරු රාජ වංශයේ පවුලක උපත ලද එතුමිය තද බල දේශපාලන වාතාවරණයක හැදීවැඩුණා.

එතුමිය සොමවරීල් විද්‍යාලය, ඔක්ස්ෆඞ් විශ්ව විද්‍යාලය ඇතුලූ, ඉන්දියාව, ස්විස්ටර්ලන්තය සහ එංගලන්තයේ පාසල් වල ඉගනුම හදාරා තිබෙනවා. කුඩා කළ සිට එතුමිය ඉතා දක්ෂ, බුද්ධියත් මෙන්ම තරමක මුරණ්ඩු දැරියක් වුණා. නමුත් තම පියානන්ගේ යහපත් දේශපාලන ආභාශය එතුමියට පූර්වාදර්ශයක් සැපයූ බව එතුමියගේ විශිෂ්ට දේශපාලන ජීවිතය සහ යහපත් ජීවිතාදර්ශය සාක්ෂි දරනවා. 1941 වර්ෂයේ ඔක්ස්ෆර්ඞ් සිට නැවත තම මව් රටට පැමිණීමත් සමඟ ඉන්දිරා ගාන්ධි තුමිය ඉන්දියානු නිදහස් සටනට අවතීර්ණ වුණා.
1950 වසරේ සිය පියාගේ පුද්ගලික සහයකවරිය ලෙස අනියම් පදනම යටතේ ඇය සේවය කළා.  1964 වසරේ දී නේරු තුමන්ගේ මරණයෙන් පසු එවක ජනාධිපති විසින් ඉන්දිරා රාජ්‍ය සභා සාමාජිකාවක් ලෙස පත්කොට ඇත.  1965 වසරේ ජවහල්ලාරු නේරුගේ අභාවයත් සමඟ බලයට පත් වූයේ ලාල් බහදුර් රජයයි. ලිල් බහදුර් ශාස්ත‍්‍රිගේ රජයේ ඉන්දිරා ගාන්ධි, එම රජයේ තොරතුරු ප‍්‍රචාරණ අමාත්‍යවරිය වුණා.  එම ප‍්‍රවිශ්ටය ඇගේ දිගු දේශපාලන ගමනක ආරම්භය වුණා.

 සන්ජේ ගාන්ධි සය රවි ගාන්ධි වන ඇගේ පුතුන් දෙදනා ඒවන විට ලන්ඩනයේ ඉගනුම ලැබුවා. මවක ලෙසින් වූ ඇගේ භුමිකාව බෙහෙවින් වෙනස් වූයේ 1966 ලාල් බහදුර් ශාස්ත‍්‍රි හෘදයාභිදයක්න් මිය යැමත් සමගයි.මේ අතරේ ශාස්ත‍්‍රින්ගේ හිස් වුණ අගමැති අසුනට ඉන්දිරා පත් වුණා.  1969 වසරේ දී ඉන්දිරා දේශපාලන භූමිකාවේ විප්ලවීය වෙනසකට මුල පිරුවා. වරප‍්‍රසාදය ලත් මහාරාජවරුන් සතුව පැවතියාවූ සම්පත් ජන සතු කලා. තෙල් බැංක,ු පතල් ආකර වැනි සම්පත් මේ අතර විය. ‘දුප්පත්කම අහිමි කරමු’ යන සටන්  පාඨය ඉදිරියට ගෙන මෙහෙය වූ මැතිවරනයෙන් 1971 දී ඉන්දිරා ජයගත්තා.

 ඉන්දිරා ගාන්ධි සිය දෙශපාලන පෞරුෂය ලෝකයටම පෙන්වූ උත්තමාවීයකි. ජනතාවාදී දේශපාලන ප‍්‍රතිපත්තිය එතුමියගේ ආයුධය වුණා. නිදහස් ඉන්දියවක නිවහල් දේශයත්, ශක්තිමත් ආර්ථිකයත් ගොඩ නැංවීවට එතුමිය නිතර වෙහෙසුණා.  ඉන්දිරා ගාන්ධි විසින් 1971 වසර  වන විට නැගෙනහිර පකිස්තානය ලෙසින් තිබූ භුමිය බංලාදේශය නමින් රටක් කරන ලදි. බංගලාදේශය ස්වාධින වීම නිසා ඉන්දිරා ගාන්ධිගේ ජනප‍්‍රියත්වය තවදුරටක් තහවුරු වුණා. එවක පැවති සමික්ෂණයට අණුව ඉන්දියාවේ බිහිවුණු හොදම අග‍්‍රාමාත්‍යවරිය ඉන්දිරා බව ප‍්‍රකාශ වුණා. 1962 ඇගේ පියා වූ නේරු විසින් චීනය සමග දේශ සීමා අරගලයක් වෙනුවේන් මුලපුරා තිබුණා. මෙහිදී ඉන්දිරාගේ නුවණන සිය පියාට වඩා ඉදිරියෙන් වූ බව විචාරක අදහසයි.

ජවහල්ලාරු නේරු දේශපාලන භූමිකාවේදී අනුගමනය කළ ප‍්‍රතිපත්ති ඉන්දිරා පාලන ක‍්‍රමයේ දී ක‍්‍රමයෙන් අභාවයට යන්නට වුණා. නිළධාරීන් සහ අධිකරණ දේශපාලන මැදිහත් වීමකින් තොරව සිදු වුණත් ඉන්දිරා රජයේ පාලන කාලය තුළින් මෙම තත්වය ගිලිහෙන්නට විය. පක්ෂපාතීත්වය මුල් කරගෙන දේශපාලන නායකයන් පත් කිරීම මෙන්ම සිවිල් නිළධාරීන් පත් කිරීමද සිදු විය. කොන්ග‍්‍රසය සිය අතට ගත් ඇය තමා විසින් ප‍්‍රධාන අමාත්‍යවරයා තෝරා ගත් අතර අභ්‍යන්තර ජන්ද තහනම් කරන ලදි. මේ අන්දමේ දේශපාලන වශයෙන් වූ ව්‍යාතකූලත්වය සහඟ හදීසි නීතිය සම`ග ඉන්දිරා රජය ජනතාව අතර අප‍්‍රසාදයට පත්වුණා. නමුත් නව රජයට එතරම් ආයුෂ තිබුණේ නැත. 1980 වසරේ බලයට පත් වීමත් සමඟ ඇය පංජාබ් බෙදුම් වාදීන් සමඟ වූ සටන් ඉදිරියටම ගෙන ගියාය. මෙම ක‍්‍රියා කලාපය ඇගේ මරණයට පවා හේතු විය.


  මේ වන විට තම පුතුන් දෙදනා දේශපාලනයට අවතීරණ කාරීමේ ගමන් මග ආරම්භ කළාය. එමගින් ද ඇය අපේක්ෂා කළේ දේශපාලනයේ ගමන් මග තවදුරටත් ස්තාපිත කිරීමටය. 1976 වසර වන විට සංජේ ගාන්ධි දේශපාලනය වෙනුවෙන් පන්නරය ලබද්දි 1980 වර්ෂයේ දී හදීසි ගුවන් අණතුරකට ගොදුරු වීමත් සමඟ  රජීව් තුළ දේශපාලන උනන්දුව වැඩි විය. නමුත් ඇගේ බලාපොරෝතු සාර්ථක වුණේ නැත. එතුමිය හා ආන්ද්‍රේ ප‍්‍රදේශ අතර ගැටුම් ඇතිවිය. පන්ජාබයේ අර්බුදකාරී ත‍්‍රස්ත ක‍්‍රියා මෙන්ම උතුරු නැගෙනහිර ගෝත්ත‍්‍රක අරගල ඇය අපහසුතාවයට පත් කරන්නට විය. 1984 වසරෙදී සික් අන්තවාදින්ගේ රන් දෙවොල ආක‍්‍රමණය කරන්නට අණ කළාය. 1984 ජූනි මාසයේ ඉන්දීය හමුදාව විසින් සික් දෙවොල ආක‍්‍රමණය කල අතර සික් ත‍්‍රස්තවාදීන් ජීවිතක්ෂයට පත් විය.
   
 වසර 1984 ඔක්තෝඔර් 31 වැනිදා උදෑසන 9.20 ට ඉන්දිරා ගාන්ධි ඝාතනයට ලක්වූයේ ඇගේ ශරීරාක්ෂකයින් දෙදනෙකු වූ ෂට්වාන්ට් සින් හා බීන්ට් සින්ගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වීමෙන් පසුවයි. නවදිල්ලියේ සෆ්ඩාර්ජුන් මාවතේ පිහිටි අංක එක දරණ  අගමැති කාර්යාලය වෙත ඉන්දිරා ගාන්ධි පාගමනින් ගමන් කරමින් සිටිය දී මෙම අවසනාවන්ත මරණය සිදු වූයෙු ලොවම කම්පාවට පත් කරමින්ය. එතුමිය මෙලොවෙන් සමුගත්තද එතුමියගෙන් වූ අමිල මෙහෙවරට තිත නොතබන්නට එතුමියගේ පවුල කටයුතු කරන බව පැහැදිලිය.

එතුමියගේ ඇවෑමෙන් ඇගේ පුත් රජිව් ගාන්ධි දේශපාලනය වෙනුවෙන් 1991 මැයි 21 ජීවිතය පූජා කළා. ඉතාලි සම්භවයක් ඇතැයි කියමින් බැට කෑ ඇගේ ලේලිය වූ සෝනියා ගාන්ධි රජිව් ගාන්දි වෙනුවෙන් මෙහෙවර ඉදිරියට ගෙන ගියා. 1998 වසරේ පටන් ඇය ඉන්දිය ජාතික කොන්ග‍්‍රසයේ සභාලතිනිය ලෙස කටයුතු කරනු ලබයි. සංජය ගාන්ධිගේ බිරිද වූ මෙනකා ගාන්දි භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවකි. ඉන්දිරාගේ මුණුබුරා වූ ෆෙරෝස් ගාන්ධි ඉන්දීය ලෝක් සභාවේ සාමාජිකයෙකි. රාහුල් ගාන්ධි මුණුබුරා දේශපාලන ක්ෂේත‍්‍රය දුර ගමනක් යන්නට සිටින බව විචාරක අදහසයි.

ඉන්දිරා ගාන්ධි නම්  උතුම් කාන්තාව සිය ජීවිතය පමණක් නොව ආත්මයම ජනතාවාදී දේශපාලනයකට කැපකල පුද්ගලයෙකු වනවා. තමාගේ පියා, පියාගේ පියා ඇතුලූ පවුලේ ගෞරවය සුරකින්නට හැකි සෑම වියම ඇය උත්තසහ කළා. තමාගේ දේශය, තමාගේ ජනතාව වෙනුවෙන් යමක් කළ යුතුමයි යන්න විශ්වාසයෙන් යුතුව ඉටු කිරීමට ඇය සතු වූ ධෛර්ය අපිරිමිතය.  ලෝයේ බිහිවූ විශිෂ්ට කාන්තාවන් අතරින් ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ යකඩ ගැහැනිය ලෙස විරුදාවලිය ලබන්නේ එ් නිසා වෙන්මය.
                                                                               
                                                                                     -ප්‍රබුද්ධිකා රත්නායක-


Thursday, June 15, 2017

සංවර්ධනයට අත්තිවාරමක්.....

   නූතන ලෝකයේ, සමාජ ආර්ථික රටාව තුළ සංවර්ධන යන්න (Department) අතිශය සංකීර්ණ  මාතෘකාවක් බවට පත් ව ඇත.පවතින තත්ත්වයෙන් ඉදිරි පියවරක් තැබීම සංවර්ධනය ලෙස අර්ථකථනය කළ හැකියි. එය භෞතික හා ආධ්‍යාත්මික යන දෙඅංශයේම එකතුවක් විය යුතුය. ශ්‍රී ලංකාවේ සංවර්ධන පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ද මෙම අංශ දෙක කෙරෙහි අවදානය එක හා සමාන විය යුතුය. නමුත් ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය, පාරිසරික, සංස්කෘතික, සමාජීය, සදාචාරාත්මක යන අංශ කෙරෙහි දක්වන සැලකිල්ලට සාපේක්ෂව මානසික පවිත්‍රතාව හෙවත් මානසික සංවර්ධන කෙරෙහි දක්වන ලද සැලකිල්ල අඩු බවක් පෙනීයයි.

ගොඩනැගිල්ලක් තැනීමේ දී එහි අත්තිවාරම ශක්තිමත් විය යුතුය. සංවර්ධනය නැමති ගොඩනැගිල්ලේ අත්තිවාරම මානසික සංවර්ධනයයි. සංවර්ධන සංකල්පය පිළිබඳව විශේෂඥයෙක් වන ඩෙනිස් ගොලිට(Dennis Goalie) අනුව සංවර්ධනය අස්ථිර සමාජ තත්ත්වයන්ගෙන් මිදී යහපත් හා ගුණවාදි සමාජ අර්ථික තත්ත්වයක් කරා ලගා වීමේ ක්‍රමවේදයකි. මහත්මා ගාන්ධි, ගුනර් මිර්ඩාන්, ඩඩ්ලි සියර්ස්, ආතර් ලුවිස්, ජෝර්ජ් එම් පොස්ටර්, පෝල් වී ස්ටීවන්, විමල් දිසානායක වැනි බොහෝ සංවර්ධන විශේෂඥයින්ගේ අදහස් ද එයට සමානය.
ශ්‍රී ලංකා ද සංවර්ධන ඉලක්ක සපුරාලීමට උත්සාහ දරයි. නමුත් එහි බොහෝ ගැටලු සහගත තත්ත්වයන් පවතියි. ආර්ථික හෝ සමාජීය හෝ සෑම අංශයකටම එය පොදු කාරණාවකි. මේ සියල්ලටම හේතු සාධක ලෙස ආධ්‍යාත්මික සංවර්ධනයේ පිරිහීම යැයි කිව හැකිය.

 අප හුදක් ආර්ථික සංවර්ධන පදනම් කොටගෙන මිනුම් දඩුවලින් සංවර්ධන මැනීමට උත්සාහ දරයි. එය අනුවන කමකි.එයට හේතුව වන්නේ නූතන සමාජයේ මානසික පවිත්‍රතාව බිදවැටීමයි.අද වන විට මානසික සංවර්ධන පිළිබද කතා කිරීමම මානසික ව්‍යාකූලතාවයට පත් කිරීමකි.රැපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් ඇතුලු විවිධ මාධ්‍ය වලින් අසන්නට දකින්නට ලැබෙන පුවත් වලින් මේ සදහා නිදසුන් සපයාගත හැකියි. වංචා දූෂන, හොරකම්, මැරකම්, මංකොල්ලකෑම්, සියදිවි නැසාගැනීම් සමාජයේ ඕනෑතරම් ය. රටේ නීතිය අස්තාවරය. රාජ්‍ය පරිපාලනය දූෂිතය. දේශපාලන ක්ෂෙත්‍රය ව්‍යාකූලය. ආගමික සංස්ථා බිදවැටී ඇත.මෙම අභාග්‍යයට හේතුව කුමක්ද? එය හුදෙක් ප්‍රශ්නාර්ථයක් පමණි. එය විසදුම් සෙවිම කෙසේවෙතත් ඒ පිළිබඳ සිතීම පවා අවුල් සහගතය.

රටක, සමාජයක අධ්‍යාත්මික සංවර්ධන ශුන්‍ය අගයක් දරන්නේ නම් භෞතික සංවර්ධනක් අපේක්ෂා කිරීම නිශ්පලය. මුලින්ම සිදු කළ යුත්තේ මිනිසුන් ගේ චින්තනය ශක්තිමත් කිරීම ය. සංවර්ධන පිළිබඳ මිනිසාට ස්ථීර සහ පැහැදිලි දහසක් තිබිය යුතුය. ජාතිකත්වය පිළිබඳ හැගීම තහවුරැ කළ යුතුය. කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, ව්‍යාපාර, අධ්‍යාපන හෝ කුමන භෞතික සංවර්ධන ක්‍රියාවලියක් සදහා ව්‍යාපෘති යෝජනා සැලසුම් ඉදිරිපත් කළද ඒවා අසාර්ථක වීමට ප්‍රධාන හේතුව වන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයේ හීන බවයි.

ශ්‍රී ලංකාවේ බොහොමයක් ප්‍රදේශ ග්‍රාමීය මට්ටමේ පවතියි. ලංකාව කෘෂි අර්ථික රටකි. ජනතාවගේ බුද්ධි මට්ටම විවිධය. රටේ සංවර්ධන ව්‍යාපෘති සැකසිය යුත්තේ මෙම කාරණා කෙරෙහි අවධානය යොමු කරමන්ය.
ආධ්‍යාත්මික සංවර්ධනය සදහා ලංකාව ගෙන ඇති පියවර මොනවාද? ප්‍රශ්නයකි.රටෙහි වග කිව යුතු ප්‍රතිපත්ති සම්පාදකයන් මීටවඩා බුද්ධිමත් තිරණයකට එළඹිය යුතුය.පාසල්, විශ්වවිද්‍යාලය තුලින් බොහෝ බුද්ධිමතුන් බිහිකරයි. එම විෂය නිර්දේශයන් තුළ ආධ්‍යාත්මික සංවර්ධනයට කොපමණ ඉඩක් වෙන් කර තිබේද? යන්න ගැටලුවකි. 

ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා අවශ්‍ය කරන පදනම පාසල්, විශ්වවිද්‍යාලය විෂයනිර්දේශන් අන්තර්ගතයට එක්කළ යුතුය. ඒ සදහා රටේ බුද්ධිමත් පිරිසට සාකච්ඡාවක් ගොඩනැගීමට අවස්ථාව සලසාදීම රජයේ වගකීමකි. එවිට රටේ තරුණ ප්‍රජාව සංවර්ධනඉලක්ක සපුරාලීමට දායක කර ගත හැකිය. විවිධ බුද්ධි මට්ටම් සහිත ජනතාව බල ගැන්වීම උදෙසා ප්‍රජා සංවර්ධන සැලසුම් සකස් විය යුතුය. එහි අන්තර්ගතය ආධ්‍යාත්මික සංවර්ධන විය යුතුය. එහි සාර්ථකත්වය මත භෞතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම පහසු වනු ඇත. මීට අමතරව රටේ ජන මාධ්‍යය සතු වු වගකීමක් පවතියි. මාධ්‍ය යනු රටක ගුරුවරයකු, උපදේශකයකු මෙන්ම මර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කළ හැකි ප්‍රබල උපකරණයකි. නමුත් එය බැහැර කොර වාණිජ පරමාර්ථයන් පමණක් මුදුන් පමුණුවා ගනිමින් මාධ්‍ය කටයුතු කිරීම අභාගයකි. ඒ සදහා නිසි ජනමාධ්‍ය න්‍යාමනයක අවශ්‍යතාව පවතියි. මෙයට රටේ පංචමහා බලකායම එකතු විය යුතුය. සංවර්ධනය තනිව කළ හැකි කර්යයක් නොවේ.

සිංගප්පූරුවේ  ජනාධිපති ලීක්වාන් යූ එවකට කොළඹ නගරය දැක සිංගප්පූරුව එලෙස සංවර්ධන කළයුතු බව සදහන් කොට ඇත. නමුත් ලංකාවත් සිංගප්පූරුවත් අතර තිබෙන සංවර්ධන පරතරය කොතරම් ද? ලංකාව ඉදිරිපත් කරන ලද සංවර්ධන යෝජනා හා ක්‍රියාවලීන්ගේ අර්බුදකාරී තත්ත්වයන් පවතියි. නමුත් ඊට වඩා එම ක්‍රියාවලීන්ගෙන් අපේක්ෂිත ප්‍රතිථල නෙලා ගැනීමට නොහැකි වන්නේ ආධ්‍යාත්මික සංවර්ධන පිළිබඳ ඇති අඩු සැලකිල්ලයි. ආර්ථික සංවර්ධන යනු තරාදියේ එක් පැත්තක් නම් එහි අනෙක් පැත්ත ආධ්‍යාත්මික සංවර්ධනයයි. මෙම තරාදිය සමබර වූ තැන අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගත හැකියි.

 ඒ.ටි ආරියරත්න, අනගාරික ධර්මපාල වැනි ලාංකීය  ආර්ථික, සමාජීය සංවර්ධනය වෙනුවෙන් කටයුතු කල පුද්ගලයන් ගේ අදහස් ද මෙයට බෙහෙවින් සමානය. ඔවුන් ඉදිරිපත් කළ බොහෝ කරුණු කාරණා වලින් ඉස්මතු කරන්නේ මානසික සංවර්ධනයේ වටිනාකමයි. නවීනත්වය බිහිවන්නේ අතිශය පැරැණි දේවල් වලින් බවට කියමන සැබෑවකි. එබැවින් නූතන සංවර්ධන ක්‍රියාවලිය පණගැන්වීමෙහිලා ඔවුන්ගේ අදහස් ද වැදගත්වෙයි. ශ්‍රී ලංකාවේ භෞතික සංවර්ධන මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනයද එක හා සමාන වැදගත්කමක් සහ අවදානයක අවශ්‍යතාව පවතියි.
           
                                                   -ප්‍රබුද්ධිකා රත්නායක -

Monday, June 12, 2017

දෙවලපොලින් ගොඩගත් වසර 3000ක ඉපැරැණි අභිරහස




       ශ‍්‍රී ලංකාව භූමි ප‍්‍රමාණයෙන් අනෙක් රටවලට සාපේක්ෂව කුඩා බව සැබෑය. නමුත් ඉදි කොට තිබෙන වෙහෙර විහාර, වැව්, අමුණු දාගැබ් ද, කෘෂිකර්මාන්ත, වාරිකර්මාන්ත, හෙළ වෙදකම, හෙළ සටන් ක‍්‍රම ආදී දෑ පිළිබ`ද අවධානය යොමු කිරීමෙන් අපේ අතීතයේ මුතුන්මිතන්ගේ තිබූ තාක්ෂණික ඥාණයත්, දියුණු ශිෂ්ටසම්පන්න මනාව විද්‍යාමාන වේ. ඒ සියල්ල දෙස අවධානය යොමු කිරීමේදී ශ‍්‍රී ලංකාව යනු කුඩා රටක් යැයි හැදින්වීම හුදෙක් භෞතික සීමාවකි. එම තර්කය තවදුරටත් සපථ කිරීමට තවත් එක් විශිෂ්ට සාක්ෂියක් ආනාවරණය කර ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මංගල කටුගම්පොල මහතා ඇතුලූ කණ්ඩායමට හැකි වී තිබේ. මෙම සොයා ගැනීම පුරාවිද්‍යාත්මක වටිනාකමක් මෙන්ම අතීතයේ තිබූ දියුණු ශිෂ්ටාචාරයක මං සලකුණු හෙළි කරන අපූරු අනාවරණයකි. මේ එ් පිළිබදව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මංගල කටුගම්පොල මහතා සමග කළ කතා බහකි.

මෙම පුරාවිද්‍යාත්මක සොයාගැනීම මොකක්ද?

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා කැලණිය විශ්වවිද්‍යාලය එකතුවෙන් අනාවරණය කළ මෙම සොයා ගැනීම ලංකා ඉතිහාසයට වඩාත් වැදගත් සලකුණක් වේවි.  මිනුවන්ගොඩ, දෙවලපොල, ආනන්ද මහා විද්‍යාල භූමියේ සිදුකරන ලද කැණීම්වල දී වසර තුන්දහසකට(3000) වඩා පැරණි බවට අනුමාන කළ හැකි සූසාන භූමියක භෂ්මාවශේෂ සොයාගැනීමට අපිට හැකිවුණා. ගම්වාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව තමයි මෙම කැණීම සිදු කරනු ලැබුවේ. දෙවලපොල පාසලට ඇතුලූවන මාර්ගයේ කොටසක් කැණීම්වලට ලක් කිරීමේ දී මැටි කූටීරවලින් නිමැවූ සූසාන භූමිය පොළව මට්ටම ආසන්නයේදී හමුවුණා. මෙය මැටිවලින් සාදන ලද ඔරුවක හැඩය ඇතිව මැටි ගසා සාදන ලද බරණිවල තිබී මැටි මුට්ටි කිහිපයක් දක්නට ලැබුණා. එහි දේහයක් දැවීමෙන් පසු ඉතුරු වූ අළු පවතින බවට විශ්වාස කරන්නට පුළුවන්. ඇත්තටම මෙවැනි සූසාන භූමි දැකිය හැකි වන්නේ තෙත් කලාපයේ. මීට පෙර මෙවැනි සූසාන භූමි සොයාගෙන තිබෙන්නේ ඉතා සුළු ප‍්‍රමාණයක්.

මෙම පර්යේෂණයේ තිබෙන වැදගත්කම මොකක්ද?

ලංකාවේ ඉතිහාසය මූලිකවම අවදි 03කට බෙදන්න පුළුවන්.
     01.ප‍්‍රාග් ඓතිහාසික අවදිය
     02.මූල  ඓතිහාසික අවදිය
     03. ඓතිහාසික අවදිය
ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබද කතාකරන කොට මීට අවුරුදු එක්ලක්ෂ විසිදාහකට එහා යන තොරතුරු පුරාවිද්‍යාත්මකව තහවුරු කරගෙන තිබෙනවා. උදාහරණ ලෙස මුල් කාලයේ භාවිතා කළ ශිලා ආයුධ පිළිබ`ද ආනාවරණය සදහන් කරන්න පුළුවන්. ඒ වගේ බොහෝ තොරතුරු ප‍්‍රාග් ඓතිහාසික යුගයේ හමු වෙනවා. ඒ වෙනුවෙන් පර්යේෂණ බොහොමයක් තිබෙනවා. එම නිසා ඒ කාලය පිළිබද ප‍්‍රාමාණික අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඉතිහාසය සම්බන්ධවත් ඒ කාරණය එලෙසමයි.

නමුත් ප‍්‍රාග් ඓතිහාසික අවධියත්, ඓතිහාසික අවදියත් අතර තිබෙන අවධිය පූර්ව ඓතිහාසික යුගය හෙවත් මූල යුගය පිළිබද තොරතුරු ප‍්‍රමාණවත් නොවන බව පෙනී යනවා. ඇත්තටම මූල ඓතිහාසික අවදීන් යනු සංකාන්ත‍්‍රික අවදීන් නොඑසේ නම් ගන්ධබ්බ අවදීන් ලෙස හදුන්වන්න පුළුන්. මේ කාලයේ ලංකාවේ මුලින්ම යකඩ තාක්ෂණය, මැටි භාණ්ඩ භාවිතය විශේෂයෙන් දක්නට ලැබෙනවා. කෘෂිකර්මාන්තයේ ආරම්භයක් මේ කාලයේ ආරම්භ වුණා යැයි සැලකෙනවා. ඒනිසා මේ කාලයේ තොරතුරු අනාවරණය කර ගැනීම ඉතාම වැදගත්. නමුත් පුරාවිද්‍යාත්මක තෙරතුරු තිබෙන්නේ බොහොම ටිකයි. කාලය පිළිබද තොරතුරු ලබා ගැනීමේදී මළවුන්ගේ චාරිත‍්‍ර විශේෂ වෙනවා. ඒ ඔස්සේ ඒ කාලයේ සමාජ සංස්කෘතික ලක්ෂණ හදුනා ගැනීමට හැකිව තිබෙනවා. ලංකාවේ ඉබ්බන්කටුගොඩගත්ව, කොක්කැබේ වැනි ප‍්‍රදේශයන්හි එවැනි අනාවරණය කර ගැනීම් සිදු කොට තිබෙනවා. ලෝකයේ ගතහොත් ඉන්දියාව, චීනය, එංගලන්තය වැනි රටවල් පවා මළවුන්ගේ චාරිත‍්‍ර පිළිබ`ද අධ්‍යයනය කර තිබෙන රටවල් විදිහට උදාහරණ දක්වන්න පුළුවන්. ඒවායෙහි හමු වූ බොහෝ දේ ලංකාවෙන් හමු වූ දේ අතර සමානතා දක්නට ලැබෙනවා.
ඒ අනුව, ලංකාවේ මළවුන් ඇදහිමේ විශේෂ ක‍්‍රම 2ක් හුදුනා ගැනීමට පුළුවන්.
01.ශිලා මංජුසා/ගල් සොහොන්
02.මැටියෙන් කරන ලද සූසාන/මැටි කුටීර සුසාන/ මැටි ඔරු
ප‍්‍රථමයෙන් සදහන් කළ ශිලා මංජුසා නෙහොත් ගල් සොහොන් තිබෙන ස්ථාන 100ක් පමණ සොයගෙන              තිබෙනවා. එයිනුත් යාන්ඔය නිම්නයේ මේවා බොහොමයක් දක්නට ලැබෙනවා. මේ පිළිබද ලංකාවේ පර්යේෂණ කැණීම් කර තහවුරු කොට තිබෙනවා. බොහෝ විට මේවා වියළි කලාපයේ දැකගන්නට පුළුවන්. දෙවනියට සදහන් කළ මැටි කුටීර සුසාන හමු වී තිබෙන්නේ 4ක් 5ක් පමණි. ඒවා බොහෝ විට තෙත් කලාපයේ දක්නට ලැබෙනවා. ප‍්‍රසිද්ධ සොයාගැනීම් ලෙස රංචාමඩම, හල්දුම්මුල්ල වැනි ස්ථාන ස`දහන් කරන්න පුළුවන්.

 මෙම සුසාන භූමියේ ලක්ෂණ මොනවාද?

ඇත්තෙන්ම පෙර සදහන් කළ පරිදි තෙත් කලාපයෙන් හමුවන මෙම සුසාන භූමිවල වාස්තුවිද්‍යාත්මකව සමාන බවක් දක්නට ලැබෙනවා. මෙම ප‍්‍රදේශයෙන් සොයාගත් සුසාන භුමියෙහි පොළව හාරා අමු මැටි ගාලා එය පුච්චනු ලබනවා. ඉන්පසු දෙන තැන්පත් කොට නැවත එය පුච්චනවා. එහි අළු, මැටි භාජනවල බහලා නැවත එහිම තැන්පත් කරනවා. ඊට උඩින් නැවත මැටි ගුලිද, ඊට උඩින් වලන්, ඊටත් උඩින් මැටි ගුලි සහ ඉන් අනතුරුව අ`ගුරු තට්ටුවක් යොදනවා. රංචාමඩම, නිකවලමුල්ල, කලවටුවාව වැනි ප‍්‍රදේශවලින් සොයාගත් සුසාන භුමිවලද සාම්‍යතා දක්නට ලැබෙනවා. මෙහිදී අපට ලැබුණු අළුවලින් නිශ්චිතවම කාලය නිර්ණය කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ ඔස්සේ අපට පුළුන් මෙය කුමන කාලයකට අයත් ද යන්න නිශ්චිතවම සොයා ගැනීමට අපි තාමත් හරියටම මෙය අනාවරණය කොට ගෙන නැහැ.අපි තාමත් ඉන්නේ පශ්චාත් විශ්ලේෂණ අවදියේ.
මේ පර්යේෂණයේ අරමුණු මොනවාද?
ඇත්තටම මේ දැනුම සමාජගත විය යුතු යි. ඒ වලේම මෙය සුරක්ෂිත කිරීමට අපිට වගකීමක් තියෙනවා. මෙම හෙළිදරව්ව විශිෂ්ඨයි. මීට අ.වු. 300කට පෙර තිබූ තාක්ෂණික දැනුම සමාජ සංකෘතික ක‍්‍රමය පිළිබ`ද ආණාවරණය කර ගැනීමට මෙම දැනුම සාමාන්‍ය මිනිසුන් අතරට ගෙන යායුතුය.  එහි ඓහිතිහාසික වටිනාකම කියා දිය යුතු අතර එහි මූල්‍යමය වටිනාකමක් නොමැති බව වටහා දීම වැදගත් වෙනවා. එයින් අපිට මෙම පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත දේ ආරක්ෂා කරගන්න පුළුවන්.

මෙම පර්යේෂණය සදහා ලැබුණු සහය කොහොමද?

ඇත්තෙන්ම මෙහි නීතිමය අවසරය ලබා දුන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. මෙයට අවශ්‍ය ප‍්‍රතිපාදන විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා ප‍්‍රකාශන අංශය ම`ගින් ලබා දුන්නා. නමුත් මෙම පර්යේෂණය සම්පූර්ණ කිරීමට නම් මෙහි අළු කොටස් ඇමෙරිකාවට යැවිය යුතුයි. මොහු අපට එම තාක්ෂණය නැහැ.  ඒ නිසා තාමත් එයට අවශ්‍ය ප‍්‍රතිපාදනවල අවශ්‍යතාවය පවතිනවා. මෙම පර්යේෂණය ඉතා ඉක්මණින් සම්පූර්ණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුරාවි්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමෙදී ඇතැම් විට අපිට සතුටුදායක ප‍්‍රතිචාර ලැබුනෙ නැහැ. ඇත්තෙන්ම ඇතැම් උගත් යැයි සලකන පිරිසගේ ඇතැම් ක‍්‍රියාවක් ගැන මට පැහැදීමක් නැහැ. ඒ කොහොම වුනත් මෙය සංරක්ෂණය කිරීම හා දැනුම ජනගත කිරීමට අපි උපරිම උත්සාහ ගන්නවා. මං හිතන්නේ විශ්වවිද්‍යාල ආචාරවරයෙකු යනු පර්යේෂකයෙක්. ඔහුට හිමි කාර්යක් තිබෙනවා. මම හිතන්නේ මට මේක හො`ද අවස්ථාවක්. මම මගේ කාර්ය උපරිමයෙන් ඉටු කරනවා. ඒක මට සතුටක්.

මෙම සොයා ගැනීම ශ‍්‍රී ලාංකික අභිමානය තීව‍්‍ර කරන මං සළකුණකි. එවැනි විශ්ෂ්ට සොයාගැනීමක අයිති කරුවන් කැලණිය විශ්වවිද්‍යාලය සතුවීමද විශ්වවිද්‍යාලයට ගෞරවයකි. ඓතිහාසික තොරතුරු පිළිබ`ද උනන්දුවක් දක්වන සියළු දෙනාට මෙම සොයා ගැනීම වැදගත් සහ එහි සත්‍ය කුමක් ද? යන්න දැනගැනීමේ උනන්දුවක් පවතියි.

                සංවාද සටහන :- ප්‍රබුද්ධිකා රත්නායක
     

නිර්මාණකරණය සහ ජන සම්ප්‍රදාය



නිර්මාණකරණයේ දී රටක ජන සම්ප‍්‍රදාය හැදෑරීම වැදගත් වෙයි. ලෝක මට්ටමේ විශිෂ්ට නිර්මාණ දෙස අවධානය යොමු කිරිමේ දී ද ජන සම්ප‍්‍රදායේ ආභාෂය ලැබී ඇති බව පෙනේ. ලංකාවේද මෙම කාරණය එක සේ පොදුවේ. නමුත් වර්තමානයේ නිර්මාණකරණයේ දී සම්ප‍්‍රදාය හෝ මූලාශ‍්‍ර හැදැරීමක් දක්නට නොලැබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස නිර්මාණයක තිබිය යුතු ගුණාත්මක බව පිරිහී ඇති බවක් දක්නට ලැබේ. මේ ඒ පිළිබඳ  ප‍්‍රවීණ කලාකරු ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙන් කතාබහකි මේ.

නිර්මාණකරණයේදී සම්ප‍්‍රදාය හෝ මූලාශ‍්‍ර හැදැරීම පිළිබඳ ඔබේ අදහස මොකද්ද?

කිසිම කලාවක් සම්ප‍්‍රදායෙන් තොරව පවතින්නේ නැහැ. නාට්‍ය, චිත,‍්‍ර මූර්ති, සිනමාව, ටෙලිනාට්‍ය, ආදි සියලූම කලාවනන් සඳහා මෙම කාරණය පොදුයි. සම්ප‍්‍රදාය යනු කුමක්ද කිව්වොත් කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ මේ කලා කෘතිවල ප‍්‍රකාශනය හැඩ ගැස්සණුු තත්ත්වයන් ගණනාවකි. ඒ තත්ත්වයන් තුළ කලා රීතීන් සහ එම රීතීන්ට නිර්මාණකරුවන් හා පේ‍්‍රක්ෂකයන් දැක්වූ ප‍්‍රතිචාර, අනුග‍්‍රහ, පිළිගැනීම්, ප‍්‍රතික්ශේප කිරීම් ඒ සියල්ල සම්ප‍්‍රදායට අයත් වෙනවා. සම්ප‍්‍රදාය ගොඩනැගීමට ඒ ඒ ජනජීවිතයට බලපානු ලබන කාරණා ඇතුළත් වෙනවා. සමාජීය ශේෂ්ඨාවන් සහ සමාජීය සාරය විසින් ඒ සාරය නිපදවීම ඉල්ලා සිටින දේ,  ආදී සියල්ල එකතු වූ සංකිර්ණ සහ කිසිවක් බැහැර කළ නොහැකි දේ "සම්ප‍්‍රදාය” ලෙස හදුන්වන්න පුලූවන්.

මම එළියට් නමැති ශ්‍රේෂ්ඨ විද්වතාගේ කියමනකට ගරු කරනවා. එතුමා කියනවා "කලාකරුවාගේ කාර්යය සම්ප‍්‍රදාය වෙනස් කිරීම පමණක් නොවේ එය වර්ධනය කිරීමත් කලාකරුවාගේ කාර්යයක්” කියලා. අපි සම්ප‍්‍රදායෙන් පෝෂණය වනවා වගේම අපිත් සම්ප‍්‍රදාය පෝෂණය කළ යුතුයි.  ඕනෑම කලාකරුවෙක් තමා නිරත වන මාධ්‍යයේ සම්ප‍්‍රදාය හදරිය යුතුමයි. අපේ රටේ සම්ප‍්‍රදාය ගැන අධ්‍යයන කරන්න උනන්දුවක් නොදක්වන අය කලාවට පිවිසීම ප‍්‍රශ්නයක්. මං හිතන්නේ එ්ක රූපවාහිනිය පැමිණීමත් එක්ක උදා වුණා. මොකද සාහිත්‍යයේදී මුලාශ‍්‍ර පරිහරණය නොකරන පිරිසට පැවැත්මක් තිබුණේ නැහැ. සිනමාව, වේදිකා නාට්‍ය ආදී කලා මාධ්‍යන් තුළත් ඒ කාරණය එලෙසමයි. නමුත් රූපවාහිනී බිහිවීමත් සමඟ මේ තත්ත්වය වෙනස් වුණා. රූපවාහිනිය තුළ කාලය හා අවකාශය පිරවීමේ අරමුණින් ක්ෂණික නිර්මාණ බිහිවීම මෙයට හේතුවක් වුණා. එහිදී සම්ප‍්‍රධාය හෝ මූලාශ‍්‍ර හැදෑරීමක් නොකිරීමේ දුර්විපාකය, එම නිර්මාණ තුළින් අපට පේනවා. සරලම උදාහරණය තමයි ලංකාවේ මෙගා ටෙලි නාට්‍යය.


ගෝලීය වශයෙන් මූලාශ‍්‍ර පරිහරණය කරමින් නිරිමාණකරණය කෙරෙහි අවධානය මොන වගේද?

අද වෙන විට ලෝකයේ තාක්ෂණික ධනවාදයක් දක්නට ලැබෙනවා. ධනවාදයේ ස්වරූපයට අලූත් අර්ථකථන, ස්වරූප දීලා තියෙනවා. එහි ක‍්‍රමවේදය තමයි ගෝලීයකරණය. මගේ අදහසට අනුව දියුණු ධනේශ්වර රටවල් කේන්ද්‍රය වශයෙන් තබා ගෙන, දියුණුවන රටවල් ඒ පරිවාරයේ තබාගෙන කරන සෙල්ලමක් මේක. මෙයින් සිදු වන්ටනේ පරිවාරයේ තිබෙන රටවල සාරය කේන්ද්‍රයට එකතු කර ගැනීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම කේන්ද්‍රයෙන් පිටවන රොඩුබොඩු, වටිනාකම් විදිහට පරිවාර රටවලින් බාර ගන්නවා. මෙය නිෂ්පාදන කර්මාන්තයේ වගේම කලාව සහ නිරිමාණකරණයටත් පොදු දෙයක් වෙලා.

නමුත් ලෝකයේ දියුණු රටවල තත්ත්වයෙන් බාල නිර්මාණවලට පැවැත්මක් නැහැ. ඔහුන් නිතරම සම්ප‍්‍රදාය හා මූලාශ‍්‍ර භාවිතා කරමින් විශිෂ්ඨ නිර්මාණ කරන්නන් උත්සාහ කරනවා. ගෝලියකරණය විසින් නිර්මාණය කළ වාණිජ ලෝකයේ රටවල විශාල වාණිජ විනයක් තිබෙනවා. එම එටවල භාණ්ඩ සහ නිර්මාණවල තත්ත්වයන් වැදගත් වෙනවා. නමුත් අපේ රටේ තිබෙන්නේ වාණිජ අවිනයක්. මෙම වාණිජ අවිනය පාරිභෝගික භාණ්ඩ කෙරෙහි පමණක් නොවේ, මිනිසුන්ගේ භාවමය ජන ජීවිතයටත් බලපෑම් කර තිබෙනවා. ඒ හේතුවෙන් සැබෑ කලා නිරිමාණ වෙනුවට ක්ෂණික සහ බල වර්ගයේ නිර්මාණ බිහිවෙලා තිබෙනවා.

නමුත් සම්ප‍්‍රදාය සහ මූලාශ‍්‍ර පරිහරණය කරමින් නිර්මාණකරණයේ යෙදෙන ඔබ අතීත කාමයෙහි පෙළෙන්නෙක් යැයි ඇතැමුන් චෝදනා කරනවා නේද?
ඔව්. අපිට අතීත කාමයෙන් පෙළෙන්නන්, ජාතිවාදීන්, සාම විරෝධීන් වගේ ලේබල් ගොඩක් ගැහුවා. ඉතිහාසය සහ සම්ප‍්‍රදාය ගැන කතා කළොත් කියන්නේ එහෙමයි. නමුත් අපි ඒවා ගණන් ගන්නේ නැහැ. ඒ සියල්ල බොරු න්‍යායන්ට අර්ථ සපයන පුද්ගලයන්ගේ කාර්යයක්. ඒ අය දේශපාලඥයින,් කලාකරුවන,් විශ්වවිද්‍යාල ආචාර්යයවරුන්, විද්වතුන් යැයි කියන අය අතරෙත් ඉන්න එක කණගාටුයි. ඒ අයට  ඕනේ ව්‍යාජ න්‍යායයක් හදන්න. සම්ප‍්‍රදාය, ඉතිහාසය මොකද්ද? කියලා ඒ අය තර්ක කරනවා. මූලාශ පරිහරණය කරන්නේ ඇයි? කියලා අහනවා. නමුත් ඒ නූගතුන් දන්නේ නැහැ මුලින්ම ඔය තර්කය ඉදිරිපත් කළේ මාර්ගට් තැචර් කියලා. ඇය තමයි ගෝලීය ධනවාදී යුගය නිර්මාණය කළේ. ඇය කියන විදිහට තරුණයන්ට ඉතිහාසය සහ සාහිත්‍ය අවශ්‍යය නැහැ.  නමුත් මෙම තර්කය පසුකාලයක බිදවැටුණා. ඉන් අනතරුව තමයි ලෝකයේ ධනේෂ්වර රටවල් විශාල මූල්‍යය අර්භූදවලට ගොදුරුවුනේ්. එයට හේතුව තමයි ඒවා මානවවාදී නොවීම.
නමුත් කලාව කියන්නේ මානවවාදී දෙයක්. ඇතැම් නූගතුන්ට අදුනගන්න බැරි වීම විශාල අභාග්‍යයක්. ඒත් ඒ රැුල්ලට පිටුපාන එරෙහිව නැගී සිටින සුළු නිර්මාණකරුවන් පිරිසක් සිටිනවා. ඒ පිරිස වුනත් පසුබට කිරීමට උත්සහ ගන්න අවස්ථා තිබෙනවා. නුමුත් අපි සැලෙන්නේ නැහැ.



විශිෂ්ඨ කලාකරුවන් විදිහට ඒ සම්ප‍්‍රදාය රැුකගැනීමට ඔබතුමන්ලා ගෙන ඇති පියවර කුමක්ද?

කලාකරුවකුට කරන්න පුළුවන් නිර්මාණ කරන එක පමණයි. අපට දේශන පවත්වන්න බැහැ. නමුත් අපි ඉඩලැබෙන හැමවෙලාවකම බලධාරින් දැනුවත් කරනවා. අපේ කාර්යය දේශපාලකයින් ගුරුවරුන්ට වඩා වෙනස්. මුලින්ම ඒ කාරණය අදුන ගැනීම අවශ්‍යයි. හරියට බැලූවොත් අපි ඒ කාරණයට සාධාරණයක් අපේ නිර්මාණ තුළින් ඉෂ්ට කරනවා. ඒ තුළින් අපි වටා රසික පිරිසක් එක්තැන්වෙලා ඉන්නවා. ඒ රසිකත්වය ඔය කියන දුර්විපාකයෙන් අපි බේරගන්න උත්සහකරනවා. නමුත් එහෙම නිර්මාණකරුවන් ඉන්නේ බොහොම ටිකදෙනයි. ඒ පිරිසට මෙම කාර්යය කිරීම අසීරුයි. ඒක බොහොම සීමා සහිතයි. අපිට අපවාද ගැටලූවක් නැහැ. නමුත් රසිකයන් බේරා ගැනීමට රටේ අනාගත පරම්පරාවේ භාවාත්මක ජීවිතය රැුකගැනීම කියන එකයි. ඒ නිසා අපි තවමත් ඒ කාර්යය නිහඩව හිසනමාගෙන හැකි උපරිමයෙන් ඉෂ්ට කරනවා. විශේෂයෙන් කියන්න  ඕනේ ලංකාවේ රසිකාගාරය ගැන මට තිබෙන්නේ සතුටු දායක ආකල්පයක්. ඉන්දියාව වගේ රටකට සාපේක්ෂව ලංකාවේ රසිකාගාරය සවිඥානිකයි. එයට අධ්‍යාපනය සහ සාක්ෂරතාවයක් හේතුවක් වෙන්න ඇති. අපි හො`ද නිර්මාණයක් කළොත් ඒ නිර්මාණ බල කිරීමකින් තොරව ආදරෙන් වැළ`ද ගන්නේ ඒ නිසයි. ඒනිසයි මම නිර්මාණයක් කරණ හැම විටම පේ‍්‍රක්ෂකයා මට වඩා ඉහළ තැනක රදවා නිර්මාණය කරන්නේ. ඒ ස`දහා සම්ප‍්‍රධාය මූලාශ හා පරිශීලණය ඉතාම වැදගත් වෙනවා.


ප‍්‍රවීන කලාකරුවෙක් විදිහට ඔබ නවකයන්ට දෙන උපදේශය කුමක්ද?

ඇත්තටම මම උපදෙස් දෙන්න කැමති නැහැ. මොකද මම සියල්ල දන්න දේවතාවෙක් නෙවෙයි. හැබැයි මට  කියන්න දෙයක් තියෙනවා. අපි නිර්මාණ කළ යුත්තේ විශේෂ හැදැරීමකින් පසුවයි. නිර්මාණ සියයක් කලත් සියවෙනි නිර්මාණය කරන්නත්  ඕනේ අපි හැදෑරීමකින් පසුවයි. ඉතින් නිර්මාණ කරන්න හදාරන්න. හදාරමින් නිර්මාණකරණයේ යෙදෙන්න.
       සංවාද සටහන :- ප්‍රබුද්ධිකා රත්නායක






















Friday, June 9, 2017

Fashion ...


අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. ලස්සන දේවල් බලන්න, දකින්න කැමතියි. හැබැයි මට ලස්සන හැමදේම, ඔබට ලස්සන නොවෙන්න පුළුවන්.ඔබට ලස්සන හැමදේම, මට ලස්සන නොවෙන්නත් පුළුවන්. සමහරවිට අපි දෙන්නටම එකම දේ ලස්සනට පෙනෙන්නටත් පුළුවන්.ඒ කාරනාව එකිනෙකාගේ පෞද්ගලිකත්වය මත තීරණය වන දෙයක් මිස නියතයක් නොවේ. Fashion එහෙම නැත්තම් විලාසිතා කියන දෙයටත් මෙය පොදුයි.
හැමදෙනාටම Fashion කරන්න අයිතියක් තියනවා. නමුත් අපේ සමාජයේ බොහෝ දෙනා මේ කාරනාව අරගෙන තියෙන්නෙ වැරදි විදිහට.බොහෝ පිරිස විලාසිතා විවේචනය කරනවා. නමුත් ඒවාහි තර්කය හරිම පටුයි. ඕනැම පුද්ගලයෙකුට තමන්ට කැමති Fashion එකක් කරන්න පුළුවන්. එ්ත් කෙනෙක් කියන්න  පුළුවන් "එහෙම කොහොමද? අපේ සංස්කෘතිය , සදාචාරට ගැලපෙනනෙ නැති විලාසිතා සංස්කෘතිය ,සදාචාරය විනාශ කරනවා "කියලා. අත්තටම සංස්කෘතිය ,සදාචාරය කියන්නේ මොකක්ද?  ඒවා නිර්මාණය කරන්නෙත් අපිමයි.වෙනස් කරන්නෙත් අපිමයි.එහෙමනම් Fashion කරනකොට සංස්කෘතිය , සදාචාරය කියන කරනාවට කොටුවෙලා අපි අපිවම හිරකරගන්නේ ඇයි? තමන්ට පහසු සුදුසු විලාසිතාවක් කිරීම වරදක් නැහැ. වරද වෙන්නේ අපි බලන රාමුවයි, කෝණයයි.
කෙනෙක් කොණ්ඩය පාටකරලා, ටැටූ ගහලා, කරම්බු දාලා, කොටට ඇදින එක වැරදියි, තෙල් ගාලා කොණ්ඩය ගොතලා, දිගට අඳින කෙනා හොඳයි කියන්නෙ කොහොමද?  Fashion එකෙන් පුද්ගලයෙකු මනින්න පුළුවන් ද? ඉහතින් දැක්වු පුද්ගලයන් දෙදනාම ආකාර දෙකකට තමාගේ විලාසිතාව සිදු කරනවා. එ් තමන්ට කැමති පහසු දෙයක් නම් ඒ දෙය විවෙිචනය කිරීම අපිට සුදුසු නොවේ.
ඔබ විලාසිතා පිළිබඳ දරන මතය විවිධ වෙන්නට පුලුවන්. එය ඔබේ අයිතියක්.හැබැයි එය විවේචනය කරමින් අනෙකා ගේ විලාසිතා කිරිමේ අයිතිය නැති නරන්න ඔට අයිතියක් නැ.ඒනිසා පාට කණ්නාඩි ගලවා විනිවිඳ දකින්න. එවිට ඔබටත් විවිධ වූ විසිතුරු වූ විලාසිතාවල සුන්දරත්වය දැක සතුට , සිනහවෙන් සිත පුරවාගත හැකි වේවි.  
                          -ප්‍රබුද්ධිකා රත්නායක -

Thursday, June 8, 2017

Selfie Mania



අද කාලේ කවුද selfie ගැන නොදන්නේ, selfie නොගන්නේ කවුද ? එහෙම කෙනෙක් හොයාගන්නත් අමාරැයි. ඇත්තටම මේ selfie මුලින්ම හොයාගත්තේ කවුද? කොහොමද? ප්‍රශ්න ගොඩයි. ඒත් කෙනෙක් කියන්න් පුලුවන් selfie ගන්නවා මිසක් ඕවා මොකටද? කියලා. ඒ කතාවත් ඇත්ත.හැබැයි ප්‍රශ්නයක් තියෙනවා.ඔබ දැනගෙන හිටියද? Selfie මානසික රෝගයක් බවට පත්වෙලා තියන බව.
ඒ කතාව කියන්න කලින්, මුලින්ම selfieයක් වාර්තා වෙන්නේ 1839 දී Robert Cornelius නැමැත්තා බව selfie පිළිබඳ සොයා බැලීමේදී දැනගන්නට ලැබෙනවා.
ඔහු කැමරාව click කර වේගයෙන් කැමරාව ඉදිරියට ගොස් තමාගේම රුපය ජයාරුපයට හසුකොට ගෙන තිබෙනවා.ඉන් අනතුරුය ක්‍රමයෙන් තාක්ෂනයේ දියුණුවත් සමඟ selfie දියුනුවෙලා තියනවා. වර්තමානයේ ඔබේ අතේ තිබෙන smart phone එකේ front camera එකෙන් selfie ගන්නවා කියනදේ සාමාන්‍ය දෙයක් වෙලා.
මනෝ විද්‍යාත්මකව අපි කවුරුත් කැමතියි තමාගේ රුපය දකින්න.ජායාරූපයට පෙනීසිටින්න පුද්ගලයෙකු අකමැති වෙන්න පුලුවන්. ඒත් ඒ අය වුනත් කණ්නාඩියක් ඉස්සරහට ගිහින් තමාගේම රුපයේ හැඩ බලනවා. කැමරාව බිහිවීමට ප්‍රථමයෙන් ජල බදුනකින්, කණ්නාඩියකින් තමාගේ රුපය නැරඹීම සිදුකොට තිබෙනවා. එහි ස්ථීර රුපය ජායාරූපය ලෙස වර්ධනය වෙලා තියනවා.
නමුත් ඔබ දන්නවද? ඒ සීමාව ඉක්මවා ගොස් එය මානසික රෝගයක් බවට පත් වී තිබෙන බව. ඇමරිකානු මනෝ විද්‍යා සංගමය (APA) මෙම රෝගී තත්ත්වය selfitis ලෙස හදුන්වා දෙනවා. ඔවුන් පවසන්නේ මෙය මානසින ව්‍යාධියක් බවට පත් විය හැකි බවයි. මෙම රොගයෙහි අවස්ථා තුනක් ඔවුන් පෙන්වා දෙනවා.borderline , acute , chronic ලෙස ඒවා හදුන්වා ඇත.
Borderline අවස්ථාවේ පසුවන රෝගීන් දවසට selfie  3, 4 ක් ගන්නවා.නමුත් ඒවා සමාජ ජාල වෙත මුදාහැරීමක් සිදු නොකරයි. තමා ම බලමින් සතුටු වෙයි.
Acute අවස්ථාවේ පසුවන රෝගීන් දවසට selfie 3,4ක් පමණ ගන්නා අතර ඒවා සමාජ ජාල වෙත මුදාහැරිමින් සතුටු වෙයි.
Chronic අවස්ථාවේ පසුවන රෝගීන් දවසට selfie ගැනීම සහ ඒවා upload කිරීමේ සිනමාවක් නොමැත.ඒ ඔස්සේ ඔවුන් සතුටු වෙයි.
මේ අකාරයට මානසික ව්‍යාධියක් දක්වාම selfie පත්ව ඇත.
මේ කාරනයට කෙනෙකු එකග වීමට හෝ නොවීමට පුළුවන. නමුත් අද සමාජයේ සියදිවි හානි කරගැනීමට පෙර පවා selfie upload කිරීමට තරම් selfie ප්‍රබල වුයේ කොහොමද ? සිතා බැලිය යුතු වෙයි. මේ selfie mania(සෙල්ෆි මේනියාව) පිළිබඳව එකින්එක උදාහරණ වුවමනා නැත.ඒවාට උදාහරණ ඕනෑවටත් වඩා ඔබ දැකඇත. පිරිස්සම් වෙන්න. ඔබත් selfie mania වට ගොදුරු වීමට බැරි නැත.
                                              - ප්‍රබුද්ධිකා රත්නායක -

කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ යකඩ මිනිසුන්ගේ කතාව - ගින්නෙන් උපන් සීතල (The Frozen Fire)

                         "සමහරු සටන් වදින්නේ ජයග්‍රණනය වෙනුවෙණි. සමහරු  සටන් වදින්නේ විකල්පයක් නොමැති හෙයිණි.  එහි දී නොසිතූ අරගලයන්ට...