Monday, June 12, 2017

නිර්මාණකරණය සහ ජන සම්ප්‍රදාය



නිර්මාණකරණයේ දී රටක ජන සම්ප‍්‍රදාය හැදෑරීම වැදගත් වෙයි. ලෝක මට්ටමේ විශිෂ්ට නිර්මාණ දෙස අවධානය යොමු කිරිමේ දී ද ජන සම්ප‍්‍රදායේ ආභාෂය ලැබී ඇති බව පෙනේ. ලංකාවේද මෙම කාරණය එක සේ පොදුවේ. නමුත් වර්තමානයේ නිර්මාණකරණයේ දී සම්ප‍්‍රදාය හෝ මූලාශ‍්‍ර හැදැරීමක් දක්නට නොලැබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස නිර්මාණයක තිබිය යුතු ගුණාත්මක බව පිරිහී ඇති බවක් දක්නට ලැබේ. මේ ඒ පිළිබඳ  ප‍්‍රවීණ කලාකරු ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙන් කතාබහකි මේ.

නිර්මාණකරණයේදී සම්ප‍්‍රදාය හෝ මූලාශ‍්‍ර හැදැරීම පිළිබඳ ඔබේ අදහස මොකද්ද?

කිසිම කලාවක් සම්ප‍්‍රදායෙන් තොරව පවතින්නේ නැහැ. නාට්‍ය, චිත,‍්‍ර මූර්ති, සිනමාව, ටෙලිනාට්‍ය, ආදි සියලූම කලාවනන් සඳහා මෙම කාරණය පොදුයි. සම්ප‍්‍රදාය යනු කුමක්ද කිව්වොත් කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ මේ කලා කෘතිවල ප‍්‍රකාශනය හැඩ ගැස්සණුු තත්ත්වයන් ගණනාවකි. ඒ තත්ත්වයන් තුළ කලා රීතීන් සහ එම රීතීන්ට නිර්මාණකරුවන් හා පේ‍්‍රක්ෂකයන් දැක්වූ ප‍්‍රතිචාර, අනුග‍්‍රහ, පිළිගැනීම්, ප‍්‍රතික්ශේප කිරීම් ඒ සියල්ල සම්ප‍්‍රදායට අයත් වෙනවා. සම්ප‍්‍රදාය ගොඩනැගීමට ඒ ඒ ජනජීවිතයට බලපානු ලබන කාරණා ඇතුළත් වෙනවා. සමාජීය ශේෂ්ඨාවන් සහ සමාජීය සාරය විසින් ඒ සාරය නිපදවීම ඉල්ලා සිටින දේ,  ආදී සියල්ල එකතු වූ සංකිර්ණ සහ කිසිවක් බැහැර කළ නොහැකි දේ "සම්ප‍්‍රදාය” ලෙස හදුන්වන්න පුලූවන්.

මම එළියට් නමැති ශ්‍රේෂ්ඨ විද්වතාගේ කියමනකට ගරු කරනවා. එතුමා කියනවා "කලාකරුවාගේ කාර්යය සම්ප‍්‍රදාය වෙනස් කිරීම පමණක් නොවේ එය වර්ධනය කිරීමත් කලාකරුවාගේ කාර්යයක්” කියලා. අපි සම්ප‍්‍රදායෙන් පෝෂණය වනවා වගේම අපිත් සම්ප‍්‍රදාය පෝෂණය කළ යුතුයි.  ඕනෑම කලාකරුවෙක් තමා නිරත වන මාධ්‍යයේ සම්ප‍්‍රදාය හදරිය යුතුමයි. අපේ රටේ සම්ප‍්‍රදාය ගැන අධ්‍යයන කරන්න උනන්දුවක් නොදක්වන අය කලාවට පිවිසීම ප‍්‍රශ්නයක්. මං හිතන්නේ එ්ක රූපවාහිනිය පැමිණීමත් එක්ක උදා වුණා. මොකද සාහිත්‍යයේදී මුලාශ‍්‍ර පරිහරණය නොකරන පිරිසට පැවැත්මක් තිබුණේ නැහැ. සිනමාව, වේදිකා නාට්‍ය ආදී කලා මාධ්‍යන් තුළත් ඒ කාරණය එලෙසමයි. නමුත් රූපවාහිනී බිහිවීමත් සමඟ මේ තත්ත්වය වෙනස් වුණා. රූපවාහිනිය තුළ කාලය හා අවකාශය පිරවීමේ අරමුණින් ක්ෂණික නිර්මාණ බිහිවීම මෙයට හේතුවක් වුණා. එහිදී සම්ප‍්‍රධාය හෝ මූලාශ‍්‍ර හැදෑරීමක් නොකිරීමේ දුර්විපාකය, එම නිර්මාණ තුළින් අපට පේනවා. සරලම උදාහරණය තමයි ලංකාවේ මෙගා ටෙලි නාට්‍යය.


ගෝලීය වශයෙන් මූලාශ‍්‍ර පරිහරණය කරමින් නිරිමාණකරණය කෙරෙහි අවධානය මොන වගේද?

අද වෙන විට ලෝකයේ තාක්ෂණික ධනවාදයක් දක්නට ලැබෙනවා. ධනවාදයේ ස්වරූපයට අලූත් අර්ථකථන, ස්වරූප දීලා තියෙනවා. එහි ක‍්‍රමවේදය තමයි ගෝලීයකරණය. මගේ අදහසට අනුව දියුණු ධනේශ්වර රටවල් කේන්ද්‍රය වශයෙන් තබා ගෙන, දියුණුවන රටවල් ඒ පරිවාරයේ තබාගෙන කරන සෙල්ලමක් මේක. මෙයින් සිදු වන්ටනේ පරිවාරයේ තිබෙන රටවල සාරය කේන්ද්‍රයට එකතු කර ගැනීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම කේන්ද්‍රයෙන් පිටවන රොඩුබොඩු, වටිනාකම් විදිහට පරිවාර රටවලින් බාර ගන්නවා. මෙය නිෂ්පාදන කර්මාන්තයේ වගේම කලාව සහ නිරිමාණකරණයටත් පොදු දෙයක් වෙලා.

නමුත් ලෝකයේ දියුණු රටවල තත්ත්වයෙන් බාල නිර්මාණවලට පැවැත්මක් නැහැ. ඔහුන් නිතරම සම්ප‍්‍රදාය හා මූලාශ‍්‍ර භාවිතා කරමින් විශිෂ්ඨ නිර්මාණ කරන්නන් උත්සාහ කරනවා. ගෝලියකරණය විසින් නිර්මාණය කළ වාණිජ ලෝකයේ රටවල විශාල වාණිජ විනයක් තිබෙනවා. එම එටවල භාණ්ඩ සහ නිර්මාණවල තත්ත්වයන් වැදගත් වෙනවා. නමුත් අපේ රටේ තිබෙන්නේ වාණිජ අවිනයක්. මෙම වාණිජ අවිනය පාරිභෝගික භාණ්ඩ කෙරෙහි පමණක් නොවේ, මිනිසුන්ගේ භාවමය ජන ජීවිතයටත් බලපෑම් කර තිබෙනවා. ඒ හේතුවෙන් සැබෑ කලා නිරිමාණ වෙනුවට ක්ෂණික සහ බල වර්ගයේ නිර්මාණ බිහිවෙලා තිබෙනවා.

නමුත් සම්ප‍්‍රදාය සහ මූලාශ‍්‍ර පරිහරණය කරමින් නිර්මාණකරණයේ යෙදෙන ඔබ අතීත කාමයෙහි පෙළෙන්නෙක් යැයි ඇතැමුන් චෝදනා කරනවා නේද?
ඔව්. අපිට අතීත කාමයෙන් පෙළෙන්නන්, ජාතිවාදීන්, සාම විරෝධීන් වගේ ලේබල් ගොඩක් ගැහුවා. ඉතිහාසය සහ සම්ප‍්‍රදාය ගැන කතා කළොත් කියන්නේ එහෙමයි. නමුත් අපි ඒවා ගණන් ගන්නේ නැහැ. ඒ සියල්ල බොරු න්‍යායන්ට අර්ථ සපයන පුද්ගලයන්ගේ කාර්යයක්. ඒ අය දේශපාලඥයින,් කලාකරුවන,් විශ්වවිද්‍යාල ආචාර්යයවරුන්, විද්වතුන් යැයි කියන අය අතරෙත් ඉන්න එක කණගාටුයි. ඒ අයට  ඕනේ ව්‍යාජ න්‍යායයක් හදන්න. සම්ප‍්‍රදාය, ඉතිහාසය මොකද්ද? කියලා ඒ අය තර්ක කරනවා. මූලාශ පරිහරණය කරන්නේ ඇයි? කියලා අහනවා. නමුත් ඒ නූගතුන් දන්නේ නැහැ මුලින්ම ඔය තර්කය ඉදිරිපත් කළේ මාර්ගට් තැචර් කියලා. ඇය තමයි ගෝලීය ධනවාදී යුගය නිර්මාණය කළේ. ඇය කියන විදිහට තරුණයන්ට ඉතිහාසය සහ සාහිත්‍ය අවශ්‍යය නැහැ.  නමුත් මෙම තර්කය පසුකාලයක බිදවැටුණා. ඉන් අනතරුව තමයි ලෝකයේ ධනේෂ්වර රටවල් විශාල මූල්‍යය අර්භූදවලට ගොදුරුවුනේ්. එයට හේතුව තමයි ඒවා මානවවාදී නොවීම.
නමුත් කලාව කියන්නේ මානවවාදී දෙයක්. ඇතැම් නූගතුන්ට අදුනගන්න බැරි වීම විශාල අභාග්‍යයක්. ඒත් ඒ රැුල්ලට පිටුපාන එරෙහිව නැගී සිටින සුළු නිර්මාණකරුවන් පිරිසක් සිටිනවා. ඒ පිරිස වුනත් පසුබට කිරීමට උත්සහ ගන්න අවස්ථා තිබෙනවා. නුමුත් අපි සැලෙන්නේ නැහැ.



විශිෂ්ඨ කලාකරුවන් විදිහට ඒ සම්ප‍්‍රදාය රැුකගැනීමට ඔබතුමන්ලා ගෙන ඇති පියවර කුමක්ද?

කලාකරුවකුට කරන්න පුළුවන් නිර්මාණ කරන එක පමණයි. අපට දේශන පවත්වන්න බැහැ. නමුත් අපි ඉඩලැබෙන හැමවෙලාවකම බලධාරින් දැනුවත් කරනවා. අපේ කාර්යය දේශපාලකයින් ගුරුවරුන්ට වඩා වෙනස්. මුලින්ම ඒ කාරණය අදුන ගැනීම අවශ්‍යයි. හරියට බැලූවොත් අපි ඒ කාරණයට සාධාරණයක් අපේ නිර්මාණ තුළින් ඉෂ්ට කරනවා. ඒ තුළින් අපි වටා රසික පිරිසක් එක්තැන්වෙලා ඉන්නවා. ඒ රසිකත්වය ඔය කියන දුර්විපාකයෙන් අපි බේරගන්න උත්සහකරනවා. නමුත් එහෙම නිර්මාණකරුවන් ඉන්නේ බොහොම ටිකදෙනයි. ඒ පිරිසට මෙම කාර්යය කිරීම අසීරුයි. ඒක බොහොම සීමා සහිතයි. අපිට අපවාද ගැටලූවක් නැහැ. නමුත් රසිකයන් බේරා ගැනීමට රටේ අනාගත පරම්පරාවේ භාවාත්මක ජීවිතය රැුකගැනීම කියන එකයි. ඒ නිසා අපි තවමත් ඒ කාර්යය නිහඩව හිසනමාගෙන හැකි උපරිමයෙන් ඉෂ්ට කරනවා. විශේෂයෙන් කියන්න  ඕනේ ලංකාවේ රසිකාගාරය ගැන මට තිබෙන්නේ සතුටු දායක ආකල්පයක්. ඉන්දියාව වගේ රටකට සාපේක්ෂව ලංකාවේ රසිකාගාරය සවිඥානිකයි. එයට අධ්‍යාපනය සහ සාක්ෂරතාවයක් හේතුවක් වෙන්න ඇති. අපි හො`ද නිර්මාණයක් කළොත් ඒ නිර්මාණ බල කිරීමකින් තොරව ආදරෙන් වැළ`ද ගන්නේ ඒ නිසයි. ඒනිසයි මම නිර්මාණයක් කරණ හැම විටම පේ‍්‍රක්ෂකයා මට වඩා ඉහළ තැනක රදවා නිර්මාණය කරන්නේ. ඒ ස`දහා සම්ප‍්‍රධාය මූලාශ හා පරිශීලණය ඉතාම වැදගත් වෙනවා.


ප‍්‍රවීන කලාකරුවෙක් විදිහට ඔබ නවකයන්ට දෙන උපදේශය කුමක්ද?

ඇත්තටම මම උපදෙස් දෙන්න කැමති නැහැ. මොකද මම සියල්ල දන්න දේවතාවෙක් නෙවෙයි. හැබැයි මට  කියන්න දෙයක් තියෙනවා. අපි නිර්මාණ කළ යුත්තේ විශේෂ හැදැරීමකින් පසුවයි. නිර්මාණ සියයක් කලත් සියවෙනි නිර්මාණය කරන්නත්  ඕනේ අපි හැදෑරීමකින් පසුවයි. ඉතින් නිර්මාණ කරන්න හදාරන්න. හදාරමින් නිර්මාණකරණයේ යෙදෙන්න.
       සංවාද සටහන :- ප්‍රබුද්ධිකා රත්නායක






















No comments:

කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ යකඩ මිනිසුන්ගේ කතාව - ගින්නෙන් උපන් සීතල (The Frozen Fire)

                         "සමහරු සටන් වදින්නේ ජයග්‍රණනය වෙනුවෙණි. සමහරු  සටන් වදින්නේ විකල්පයක් නොමැති හෙයිණි.  එහි දී නොසිතූ අරගලයන්ට...