Thursday, June 15, 2017

සංවර්ධනයට අත්තිවාරමක්.....

   නූතන ලෝකයේ, සමාජ ආර්ථික රටාව තුළ සංවර්ධන යන්න (Department) අතිශය සංකීර්ණ  මාතෘකාවක් බවට පත් ව ඇත.පවතින තත්ත්වයෙන් ඉදිරි පියවරක් තැබීම සංවර්ධනය ලෙස අර්ථකථනය කළ හැකියි. එය භෞතික හා ආධ්‍යාත්මික යන දෙඅංශයේම එකතුවක් විය යුතුය. ශ්‍රී ලංකාවේ සංවර්ධන පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ද මෙම අංශ දෙක කෙරෙහි අවදානය එක හා සමාන විය යුතුය. නමුත් ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය, පාරිසරික, සංස්කෘතික, සමාජීය, සදාචාරාත්මක යන අංශ කෙරෙහි දක්වන සැලකිල්ලට සාපේක්ෂව මානසික පවිත්‍රතාව හෙවත් මානසික සංවර්ධන කෙරෙහි දක්වන ලද සැලකිල්ල අඩු බවක් පෙනීයයි.

ගොඩනැගිල්ලක් තැනීමේ දී එහි අත්තිවාරම ශක්තිමත් විය යුතුය. සංවර්ධනය නැමති ගොඩනැගිල්ලේ අත්තිවාරම මානසික සංවර්ධනයයි. සංවර්ධන සංකල්පය පිළිබඳව විශේෂඥයෙක් වන ඩෙනිස් ගොලිට(Dennis Goalie) අනුව සංවර්ධනය අස්ථිර සමාජ තත්ත්වයන්ගෙන් මිදී යහපත් හා ගුණවාදි සමාජ අර්ථික තත්ත්වයක් කරා ලගා වීමේ ක්‍රමවේදයකි. මහත්මා ගාන්ධි, ගුනර් මිර්ඩාන්, ඩඩ්ලි සියර්ස්, ආතර් ලුවිස්, ජෝර්ජ් එම් පොස්ටර්, පෝල් වී ස්ටීවන්, විමල් දිසානායක වැනි බොහෝ සංවර්ධන විශේෂඥයින්ගේ අදහස් ද එයට සමානය.
ශ්‍රී ලංකා ද සංවර්ධන ඉලක්ක සපුරාලීමට උත්සාහ දරයි. නමුත් එහි බොහෝ ගැටලු සහගත තත්ත්වයන් පවතියි. ආර්ථික හෝ සමාජීය හෝ සෑම අංශයකටම එය පොදු කාරණාවකි. මේ සියල්ලටම හේතු සාධක ලෙස ආධ්‍යාත්මික සංවර්ධනයේ පිරිහීම යැයි කිව හැකිය.

 අප හුදක් ආර්ථික සංවර්ධන පදනම් කොටගෙන මිනුම් දඩුවලින් සංවර්ධන මැනීමට උත්සාහ දරයි. එය අනුවන කමකි.එයට හේතුව වන්නේ නූතන සමාජයේ මානසික පවිත්‍රතාව බිදවැටීමයි.අද වන විට මානසික සංවර්ධන පිළිබද කතා කිරීමම මානසික ව්‍යාකූලතාවයට පත් කිරීමකි.රැපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් ඇතුලු විවිධ මාධ්‍ය වලින් අසන්නට දකින්නට ලැබෙන පුවත් වලින් මේ සදහා නිදසුන් සපයාගත හැකියි. වංචා දූෂන, හොරකම්, මැරකම්, මංකොල්ලකෑම්, සියදිවි නැසාගැනීම් සමාජයේ ඕනෑතරම් ය. රටේ නීතිය අස්තාවරය. රාජ්‍ය පරිපාලනය දූෂිතය. දේශපාලන ක්ෂෙත්‍රය ව්‍යාකූලය. ආගමික සංස්ථා බිදවැටී ඇත.මෙම අභාග්‍යයට හේතුව කුමක්ද? එය හුදෙක් ප්‍රශ්නාර්ථයක් පමණි. එය විසදුම් සෙවිම කෙසේවෙතත් ඒ පිළිබඳ සිතීම පවා අවුල් සහගතය.

රටක, සමාජයක අධ්‍යාත්මික සංවර්ධන ශුන්‍ය අගයක් දරන්නේ නම් භෞතික සංවර්ධනක් අපේක්ෂා කිරීම නිශ්පලය. මුලින්ම සිදු කළ යුත්තේ මිනිසුන් ගේ චින්තනය ශක්තිමත් කිරීම ය. සංවර්ධන පිළිබඳ මිනිසාට ස්ථීර සහ පැහැදිලි දහසක් තිබිය යුතුය. ජාතිකත්වය පිළිබඳ හැගීම තහවුරැ කළ යුතුය. කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, ව්‍යාපාර, අධ්‍යාපන හෝ කුමන භෞතික සංවර්ධන ක්‍රියාවලියක් සදහා ව්‍යාපෘති යෝජනා සැලසුම් ඉදිරිපත් කළද ඒවා අසාර්ථක වීමට ප්‍රධාන හේතුව වන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයේ හීන බවයි.

ශ්‍රී ලංකාවේ බොහොමයක් ප්‍රදේශ ග්‍රාමීය මට්ටමේ පවතියි. ලංකාව කෘෂි අර්ථික රටකි. ජනතාවගේ බුද්ධි මට්ටම විවිධය. රටේ සංවර්ධන ව්‍යාපෘති සැකසිය යුත්තේ මෙම කාරණා කෙරෙහි අවධානය යොමු කරමන්ය.
ආධ්‍යාත්මික සංවර්ධනය සදහා ලංකාව ගෙන ඇති පියවර මොනවාද? ප්‍රශ්නයකි.රටෙහි වග කිව යුතු ප්‍රතිපත්ති සම්පාදකයන් මීටවඩා බුද්ධිමත් තිරණයකට එළඹිය යුතුය.පාසල්, විශ්වවිද්‍යාලය තුලින් බොහෝ බුද්ධිමතුන් බිහිකරයි. එම විෂය නිර්දේශයන් තුළ ආධ්‍යාත්මික සංවර්ධනයට කොපමණ ඉඩක් වෙන් කර තිබේද? යන්න ගැටලුවකි. 

ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා අවශ්‍ය කරන පදනම පාසල්, විශ්වවිද්‍යාලය විෂයනිර්දේශන් අන්තර්ගතයට එක්කළ යුතුය. ඒ සදහා රටේ බුද්ධිමත් පිරිසට සාකච්ඡාවක් ගොඩනැගීමට අවස්ථාව සලසාදීම රජයේ වගකීමකි. එවිට රටේ තරුණ ප්‍රජාව සංවර්ධනඉලක්ක සපුරාලීමට දායක කර ගත හැකිය. විවිධ බුද්ධි මට්ටම් සහිත ජනතාව බල ගැන්වීම උදෙසා ප්‍රජා සංවර්ධන සැලසුම් සකස් විය යුතුය. එහි අන්තර්ගතය ආධ්‍යාත්මික සංවර්ධන විය යුතුය. එහි සාර්ථකත්වය මත භෞතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම පහසු වනු ඇත. මීට අමතරව රටේ ජන මාධ්‍යය සතු වු වගකීමක් පවතියි. මාධ්‍ය යනු රටක ගුරුවරයකු, උපදේශකයකු මෙන්ම මර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කළ හැකි ප්‍රබල උපකරණයකි. නමුත් එය බැහැර කොර වාණිජ පරමාර්ථයන් පමණක් මුදුන් පමුණුවා ගනිමින් මාධ්‍ය කටයුතු කිරීම අභාගයකි. ඒ සදහා නිසි ජනමාධ්‍ය න්‍යාමනයක අවශ්‍යතාව පවතියි. මෙයට රටේ පංචමහා බලකායම එකතු විය යුතුය. සංවර්ධනය තනිව කළ හැකි කර්යයක් නොවේ.

සිංගප්පූරුවේ  ජනාධිපති ලීක්වාන් යූ එවකට කොළඹ නගරය දැක සිංගප්පූරුව එලෙස සංවර්ධන කළයුතු බව සදහන් කොට ඇත. නමුත් ලංකාවත් සිංගප්පූරුවත් අතර තිබෙන සංවර්ධන පරතරය කොතරම් ද? ලංකාව ඉදිරිපත් කරන ලද සංවර්ධන යෝජනා හා ක්‍රියාවලීන්ගේ අර්බුදකාරී තත්ත්වයන් පවතියි. නමුත් ඊට වඩා එම ක්‍රියාවලීන්ගෙන් අපේක්ෂිත ප්‍රතිථල නෙලා ගැනීමට නොහැකි වන්නේ ආධ්‍යාත්මික සංවර්ධන පිළිබඳ ඇති අඩු සැලකිල්ලයි. ආර්ථික සංවර්ධන යනු තරාදියේ එක් පැත්තක් නම් එහි අනෙක් පැත්ත ආධ්‍යාත්මික සංවර්ධනයයි. මෙම තරාදිය සමබර වූ තැන අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගත හැකියි.

 ඒ.ටි ආරියරත්න, අනගාරික ධර්මපාල වැනි ලාංකීය  ආර්ථික, සමාජීය සංවර්ධනය වෙනුවෙන් කටයුතු කල පුද්ගලයන් ගේ අදහස් ද මෙයට බෙහෙවින් සමානය. ඔවුන් ඉදිරිපත් කළ බොහෝ කරුණු කාරණා වලින් ඉස්මතු කරන්නේ මානසික සංවර්ධනයේ වටිනාකමයි. නවීනත්වය බිහිවන්නේ අතිශය පැරැණි දේවල් වලින් බවට කියමන සැබෑවකි. එබැවින් නූතන සංවර්ධන ක්‍රියාවලිය පණගැන්වීමෙහිලා ඔවුන්ගේ අදහස් ද වැදගත්වෙයි. ශ්‍රී ලංකාවේ භෞතික සංවර්ධන මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනයද එක හා සමාන වැදගත්කමක් සහ අවදානයක අවශ්‍යතාව පවතියි.
           
                                                   -ප්‍රබුද්ධිකා රත්නායක -

No comments:

කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ යකඩ මිනිසුන්ගේ කතාව - ගින්නෙන් උපන් සීතල (The Frozen Fire)

                         "සමහරු සටන් වදින්නේ ජයග්‍රණනය වෙනුවෙණි. සමහරු  සටන් වදින්නේ විකල්පයක් නොමැති හෙයිණි.  එහි දී නොසිතූ අරගලයන්ට...